රට තුළ සහල් රුපියල් සියයක මිලකට අලෙවි කරන අවස්ථාවක ආනයනය කරන ලද සහල් කිලෝ ලක්ෂ ගණනක් හිගුරක්ගොඩ පිහිටි සතොසට අයත් ගබඩාවක කෘමි හානිවලට ලක් වෙමින් විනාශයට පත්වෙමින් පවතින බව පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පවසයි.
ලංකාවේ සහල් හිඟයක් පවතිනවා යැයි පවසමින් මැති ඇමතිවරුන් විසින් ආනයනික සහල් මෙරටට ගෙන් වූ බවත් එසේ ගෙන්වන ලද සහල් කිලෝ ලක්ෂ ගණනක තොගයක් මේ වන විට සතොසට අයත් හිගුරක්ගොඩ ගබඩාවක කෘමි හානිවලට ලක්වෙමින් පවතින අතර කෘමි සතුන්ගෙන් බේරා ගැනීමට රසායනික ද්‍රව්‍ය යොදන බවත් ටික දවසකින් මෙම සහල් තොගය අඩු මුදලකට සත්ත්ව ආහාර සඳහා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට නිකුත් කර නැවත සුද්ධ කර අලුත් ලේබල් ගසා ලංකාවේ නිෂ්පාදිත සහල් ලෙස වෙළඳපළට නිකුත් කරන මාෆියාවක් ඇති බව හෙතෙම සඳහන් කරයි.
මෙම ආනයනික සහල් සතොස ලොරි රථවලින් රැගෙනවිත් ගුල්ලන්, පණුවන් ඉවත් කර අලුත් සතොස බෑග්වල බහා සතොස වෙළඳසැල්වලට යවන ජාවරමක් ඇති අතර ඒ හේතුවෙන් රට තුළ පවතින සහල් සහ වී ප්‍රමාණය සැලකිල්ලට ගෙන සහල් ආනයනය කළ යුතු බවට නීති පැවතියද ඒවා කඩකරමින් සහල් ආනයන කර ඇති බවත් මෙම සහල් මාෆියාව පිළිබඳ සොයා බලා පරීක්ෂණයක් සිදු කළ යුතු බව ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.