වත්මන් ආණ්ඩුවට ඔක්සිජන් තිබෙන්නේ අප්‍රේල් 23 වැනිදා දක්වා බැවින් එදිනෙන් පාර්ලිමේන්තු කාලසීමාව අවසන් වන බවත්, අප්‍රේල් 24 හෝ 25 වැනිදා බොහෝදුරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26දා) ප්‍රකාශ කළේය.
මහ මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන ආකාරය සාකච්ඡා කිරීමට පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් හා භික්ෂූන් වහන්සේලො සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා, “මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් අපි දවස් 100 ක වැඩසටහනක් ඉදිරිපත් කළා. ඒ අනුව අප්‍රේල් 23 වැනිදායින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. අප්‍රේල් 23 න් පසුව 24 දා, 25 දා කියන එක සාකච්ඡා කරලා තීරණය කරන්න වෙන්නේ ඡන්දෙ තියන දවස දිහා බලයයි. අප්‍රේල් 23 න් පසුව පාර්ලිමේන්තුව නැවත රැස්වෙන්න බැහැ.
මේ පාර්ලිමේන්තුවේ ජනවරම අවසන් වෙන්න තිබුණේ ජනවාරි 08 වැනිදා. මේ පාර්ලිමේන්තුව තේරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහාය දෙන්නයි. ජනතාව එතුමා ප්‍රතික්ෂේප කළාම පාර්ලිමේන්තුවේ ආයුෂ කාලෙත් ඉවර වුණා. ඒත් අපි ජනතාවට කිව්වා මේ පාර්ලිමේන්තුවට ඔක්සිජන් දෙන්න කියලා. ඡන්දෙට ඉස්සෙල්ලා මේ රටේ ජනතාවට සහනයක් දෙන්න, දූෂණයට විරුද්ධව ක්‍රියා කරන්න, විධායක ජනාධිපතිකම අහෝසි කරන්න, ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ඉල්ලුවා.
කෙසේ හෝ අපට ඔක්සිජන් තියෙන්නේ අප්‍රේල් 23 දක්වා පමණයි. ඊට පස්සේ අපිට ඡන්දෙකට යන්න තිබෙනවා. ඒ ඡන්දෙට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙන්නයි අද සාකච්ඡාව කැඳෙවුවේ. අපේ ප්‍රධාන නිලධාරීන්, භික්ෂු සංවිධානයත් ඒ සඳහා සම්බන්ධ වුණා.
මහ ඡන්දෙට සූදානම් වෙන එකේ පළමු පියවර වෙන්නේ මාර්තු මුල් කාලයේදී සාමාජිකයන් බඳවා ගැනීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමයි. මෙවර එය සෑම කෙනාටම විවෘත කරනවා.
අපට වුමවනා වෙලා තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක්. ඒ පාර්ලිමේන්තුවේදී සහයෝගය දෙන පක්ෂ එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න අපි ඔක්කෝම බලාපොරොත්තු වෙනවා.
අද ප්‍රධාන නිලධාරීන් රැස්වෙලා ඒ පිළිබඳව මූලික තීරණ ගත්තා. ඡන්දෙ ව්‍යාපාරයේ එක් එක් කොටස් එක එක අංශ භාර දෙන පුද්ගලයන් හඳුනා ගත්තා. දැනට ඒ වගකීම් භාරදීමේ කටයුතු 90෴ ක් අවසන් වෙලා තිබෙනවා. යළිත් මේ වර්ෂයට අපේ සංවිධායකවරු පත් කරන්නේ මහමැතිවරණය දිහා බලයයි. ඡන්ද ලබාගන්න පුළුවන් අය අපි අපේක්ෂා කරනවා.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සලකුණ යටතේ තරග කරන අනෙක් පක්ෂ සමග සාකච්ඡා කර තීරණයකට එන්න තිබෙනවා.
අපි පුවත්පත් සාකච්ඡා එන සතියේ ඉඳන් ආරම්භ කරනවා. මැතිවරණ මෙහෙයුම් කටයුතු පක්ෂ මූලස්ථානයේදීමයි සිදුවන්නේ. එම කටයුතු පක්ෂයේ සභාපති හා මහලේකම්ට පවරනවා. ඒ සඳහා මමත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාත් සහය ලබාදෙන්න තීරණය කළා* යනුවෙන් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් කබීර් හෂිම්, සභාපති මලික් සමරවික්‍රම, අමාත්‍යවරුන් වන ලක්ෂ්න් කිරිඇල්ල, රෝසි සේනානායක, එරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.