කාන්තාවන්ට බාර්වලට යෑම සදහා අවසර ලබා දීම තුළින් ඉතාම සැලසුම් සහගතව මේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පෙරේදා (14) ගාල්ල උඩුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැති පොදුජන පෙරමුණේ ප්රචාරක රැළියකට සහභාගී වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,
අවුරුදු ගණනාවක් කාන්තාවට තිබුණු තැන නැති කරන්න අද කටයුතු කරලා. රෑ 10 වෙනකන් බාර් එකේ වැඩ කරන කාන්තාවගේ තත්වය කුමක්ද කියලා අපිට හිතන්න පුළුවන්. මේ අය කරන මේ හැම වැඩකම තියෙන්නේ යටි අරමුණු.
මේ ආණ්ඩුව ජනතාව ඉක්මනින්ම අමතක කළ ආණ්ඩුව කියලා මතක තියා ගත යුතුයි. අද සමහර ඇමතිවරු කියනවා මේක පාණ්ඩු ආණ්ඩුවක් කියලා. රටේ ජනාධිපති කියනවා මේ ආණ්ඩුව කුණු කන්දට වඩා ගඳගහනවා කියලා. ඒවා කියන්නේ කාටද? අපි ද ආණ්ඩු කරන්නේ?. කාටද මේ කියන්නේ. කාගේ ද මේ වරද? අපි ආණ්ඩු කරන කාලේ අපි වැඩ කළා. රටේ වැඩ කෙරුණා. කන්න ටික තිබුණා, රටේ වැඩ කෙරුණා, බයිසිකල්, බස්, කාර් , ටිපර්, ගන්න ඕන අය ගත්තා. දන් ඇමතිවරු කියනවා හැම එකාම කාර් ගන්න ඕන නෑ කියලා. මෙන්න මේක තමයි අපෙයි එයාලගෙයි වෙනස. අපිට ඕන හැම කෙනෙකුටම බයිසිකලයක්, වාහනයක් ගැනීමේ අයිතිය ලබා දෙන්න. අද බලන්න මේ පළාතේ තේ කර්මාන්තයට මොකද වෙලා තියෙන්නේ. මම පොහොර අඩුවට දෙනකොට කට්ටිය හිතුවා සොච්චමකට හම්බවෙයි කියලා හිතුවා. ලැබුණ ද? මේ ආණ්ඩුවට කළමනාකරණයක් නෑ.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්