ජනාධිපතිවරයා තමන් පත්කළද තමා රජයේ නිලධාරියෙකු බවත්, මේ නිසා ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ ආණ්ඩුව පෙරළීම තමාගේ රාජකාරියක් නොවන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
රජයේ සේවකයෙකු නිසා මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් රජය සුරැකීමට දිවිහිමියෙන් කටයුතු කරන බවත්, එහෙත් ආණ්ඩුව ආරක්ෂා නොකරන බවත් ඔහු පවසා සිටියේය.
ජනාධිපතිවරණයේ දින තීරණය කිරීමේදී එයාගේ නැකැත් දිනයට, අරයාගේ සමරු දිනයට දිනය තීරණය කළ බවට චෝදනා එල්ල කළද, මැතිවරණ දිනය තීරණය කළේ තමා බවත්, මැතිවරණයකදි දිනය අතිශය වැදගත් කාරණයක් නොවන බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
එහෙත් මෙවර මැතිවරණයේ දිනය තීරණය කිරීමේදී පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමන සැලකිල්ලට ගත් බවත්, එසේ නොමැතිව කිසිවෙකුගෙන්වත් දිනය තීරණය කිරීම පිළිබඳව බලපෑමක් එල්ල නොවූ බවත් ඒ මහතා පවසා සිටියේය.
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සිදුවන කාලයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බවත්, මේ නිසා අපේක්ෂකයන් සංයමයකින් යුතුව තම ආධාරකරුවන් හැසිරවිය යුතු බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
කොමසාරිස්වරයා වශයෙන් තමාට සිදුකළ හැක්කේ පවතින නීති පෙන්වාදීමට සහ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන අවට රැස්වීම් පැවැත්වීම, පෙළපාළි පැවැත්වීම සිදුනොකරන ලෙසට ඉල්ලා සිටීම පමණක් බවද ඔහු පවසා සිටියේය.
එහෙත් යම් කෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් හෝ විභාගයට අවහිර වන ආකාරයට කටයුතු කරනවානම් ඒ පිළිබඳව ඡායාරූපගත කර අධිකරණයට යාමට මේ රටේ ජනතාවට හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
මීට අමතරව රටපුරා මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කළද, එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බලය පැවරෙන්නේ නාමයෝජනා භාරදීමෙන් පසුව බවත්, එහෙත් රටේ පවතින නීතියට අනුව එයට එරෙහිව රාජකාරි සිදුකළ හැකි ආයතන තිබෙන බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.
එහෙත් ජනාධිපතිවරණ නීතියට අනුව නාමයෝජනා භාරදීම අවසන් වනතුරු තමන්ට කිසිදු බලයක් නොමැති බවත්, මැතිවරණ ප්රචාරක පුවරු දක්නට නොලැබෙන්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සහ ආසන්න මාර්ගයේ පමණක් බවත් මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.