සිල්ලරට විකිණිය හැකි පාලන මිල අභිභවා සහල් තොග මිල ඉහළ යෑම හේතුවෙන් සිංහල අලුත් අවුරුදු සමයේදී සුදු කැකුළු හා නාඩු සහල් මිල ඉහළ යෑමක් සහ සහල් හිඟයක් ඇතිවිය හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (28දා) මරදගහමුල සහල් වෙළෙඳ පොළේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, " අවශ්‍ය ප්‍රමාණයට වී තොග මරදගහමුල වෙළෙඳ පොළ සතුව තියෙනවා. සුදුකැකුළු හා නාඩු සහල් නිෂ්පාදනයේ අඩුවක් හා මිලෙහි වෙනස්වීමක් මේ වනවිට සිදුවෙලා. අලුතෙන් එන අස්වැන්නේ නාඩු හා සම්බා වී දෙවර්ගයම එකම මිලකට පැවැතීම නිසා මේ තත්ත්වය උද්ගත වෙලා.
සහල් නිෂ්පාදනය කර වෙළෙඳ පොළට දීමේදී නාඩු සහල් කිලෝවක් වෙනුවෙන් මෝල් හිමියන්ට කිසියම් පාඩුවක් දරන්න සිදුවෙනවා. සුදුකැකුළු හා නාඩු සහල් සිල්ලර මිලට ආසන්නව තොග මිල නියම වෙනවා. ඉදිරි උත්සව සමයේදී දිනවල සුදුකැකුළු ඉල්ලුම ඉහළ යද්දී මිල ඉහළ යෑමක් සමග හිඟයක් හෝ අඩුවක් වෙන්න පුළුවන්.
සම්බා සහල් හිඟයක් නැහැ. රුපියල් 90ක පාලන මිලට යටත්ව සම්බා සහල් තිබෙනවා. දිස්ති‍්‍රක්ක කිහිපයක අලුත් අස්වැන්න ලැබෙමින් පවතිනවා. ඒ සමගම වී මිලෙහි වැඩිවීමක්ද සිදුවෙලා. මේ වනවිට රජයේ සහතික මිල ඉක්මවා වී මිල නියම වෙනවා. මහා පරිමාණ තොග රැස්කරන්නන් තරගකාරීව දිනෙන් දින වී මිල ඉහළ දමමින් තොග රැස්කරන නිසා ඉදිරි මාසයේදී සමස්ත සහල් මිලෙහි වැඩිවීමක් වෙන්න ඉඩ තියෙනවා" යැයි පැවසීය.