2017 වසරේ අලුත් අවුරුදු නැකත් කමිටුවේ ජ්‍යෝතිර්වේදීන් අවුරුදු නැකත්වල සුබ අසුබතාව පිළිබඳ එකිනෙකට විරුද්ධ මත දෙකක පිහිටා අදහස් පළ කිරීම නිසා අවුරුදු නැකත් පිළිබඳ අර්බුදයක් හටගෙන තිබේ.
අලුත් අවුරුදු නැකත් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා සහ රාජ්‍ය නැකත් කමිටුවේ ජ්‍යෝතිර්වේදීන් ඊයේ (04දා) පැවැත්වූ මාධ්‍ය හමුව මේ හේතුවෙන් එකම ගාලගෝට්ටියක් බවට පත්විණි.
ප්‍රකාශයට පත් කර ඇති නැකත් වේලාවන් ඉතාමත් අසුබ බවත්, රටට, රජයට මෙන්ම ජනතාවට ඉන් අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කියමින් කමිටු සාමාජික ජ්‍යෝතීර්වේදී ජී.එම්. ගුණපාල මහතා මෙම හමුවේදී අදහස් දැක්වීය.
ඉන් අනතුරුව කමිටුවේ සාමාජිකයන් වූ ප්‍රශාන්ත් මලවිගේ, ඒ.එම්. සරත්චන්ද්‍ර සහ ආනන්ද සෙනෙවිරත්න යන ජ්‍යෝතිර්වේදීන් ඊට දැඩි විරෝධය දක්වමින් අදහස් දැක්වීමත් සමග සභාව උණුසුම් ස්වභාවයක් ගත්තේය.
මේ අතර නැකත් කමිටු සාමාජිකයෙකු නොවන පුද්ගලයෙකු ''ඈපා අප්පුහාමි මහත්තයා ඉසිවරයෙක්ද?''යි අසමින් අදහස් දැක්වීමට උත්සාහ ගැනීමත් සමග දැඩි කාලගෝට්ටියක් ඇති විය.
අවසානයේ දී ඉතා අපහසුවෙන් පිරිස සංසුන් කළ එස්.බී. නාවින්න අමාත්‍යවරයා ගිය වසරේද මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බව කීය. තවදුරටත් මේ අයුරින් කටයුතු නොකර සමගියෙන් මෙම ගැටලුව විසඳාගත යුතු බවද කී ඇමතිවරයා පසුගිය කාලයේ මෙම ජ්‍යෝතිර්වේදීන් 'පල්ම පල්' වී ගිය බවද සඳහන් කළේය.
2016 වසරේ ජුනි මාසයේ සිටම සාකච්ඡා කොට සකස් කළ මෙම නැකත් වේලාවන් දැන් ජනතාව අතරට ගොස් අවසන් නිසාත්, බහුතරයකගේ අනුමැතිය මෙම නැකත් සඳහා ලැබී තිබෙන නිසාත් අදාළ නැකත් අනුව කටයුතු කළ යුතු බව කී අමාත්‍යවරයා පැමිණි පිරිසට ස්තුති කරමින් සාකච්ඡාව අවසන් කළේය.