දෛනික පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තෙල් තොග ඇති බැවින් අනවශ්‍ය ලෙස තෙල් රැස් නොකර සාමාන්‍ය පරිදි තෙල් පරිහරණය කරන ලෙස ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අනවශ්‍ය පරිදි තෙල් තොග රැස්කරගැනීමට යාමෙන් කෘත්‍රිම තෙල් හියක් ඇතිවූ බවත් එය අද (06දා) දිනය තුළ යථා තත්ත්වයට පත්කළ හැකි බවත් ලේකම්වරයා පවසා සිටියේය.
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් ආනයනය කළ තෙල් නැව හෙට (07දා) දිවයිනට ළඟවීමට නියමිත බවද හෙතෙම පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පවසා සිටියේය
"තෙල් අර්බුදයක් තිබුණේ නැහැ. කෘත්‍රිම තෙල් අර්බුදයක් තමයි ඇතිවුණේ. කතාබහට ලක්වුණ තෙල් නැව ආපසු හරවා යැව්වේ පසුගිය අඟහරුවාදායි. නමුත් සිකුරාදා වන තුරු ලංකාව තුළ කිසිම ප්‍රශ්නයක් නොමැතිව තෙල් බෙදාහැරීම් සිදුකළා. මේ තෙල්නැව ආපසු හරවා යැව්වා කියා එක්තරා වෘත්තිය සමිතියක් ප්‍රකාශ කළා.
එතැනදී මිනිස්සු බියට පත්ව තෙල් වැඩිවශයෙන් මිලදී ගන්න පටන්ගත්තා. එකවර වැඩි තෙල් ප්‍රමාණයක් රටපුරාම ලබාගන්නා විට ඒ හිස්වන ප්‍රමාණය එකවරම පුරවන්න අමාරුයි. ඒනිසා කෘත්‍රිම තෙල් හිඟයක් ඇතිවුණා. නමුත් අයිඕසි නැව ප්‍රතික්ෂේප කළ විගසම ඒ වෙනුවට අපි එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් තෙල් නැවක් ගෙන්වීමට අවශ්‍ය කටයුතු කළා. ඒ නැව හෙට දිනය තුළ දිවයිනට ළඟාවීමට නියමිතයි.
ඒ කාලය තුළ අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය කළමනාකරණය කර නිවැරදිව බෙදන්න සැලැස්මක් හැදුවා. සාමාන්‍යයෙන් දෛනික පෙට්‍රල් භාවිතය මෙට්‍රික් ටොන් 2000 ක් පමණ වෙනවා. නමුත් සාමාන්‍ය තත්ත්ව යටතේ මෙට්‍රික් ටොන් 2500ක් ජනතාව ලබාගන්නවා. ඒනිසා මෙට්‍රික්ටොන් 2000 ක ප්‍රමාණය සමව බෙදලා දෙන්නඅපි තීරණය කළා.
නමුත් මේ විදිහට අනවශ්‍ය ආකාරයට තෙල් තොග ලබාගැනීමත් සමග එම හිදැස් පුරවන්න අපිට ලොකු කාලයක් ගතවෙනවා. නමුත් ඉරිදා (ඊයේ) වන විට අපි මේ හිදැසින් 80% ක් පමණ පුරවා ඉවරයි. සඳුදා (අද) වනවිට අපිට සියලුම ප්‍රදේශ වෙත තෙල් ලබාදෙන්න පුළුවන්. ඒවිදිහට කටයුතු කළොත් 09 දා වන තුරු දෛනික පරිභෝජනයට අවශ්‍ය පෙට්‍රල් තොග අපිට තිබෙනවා. ක්ෂණික ඉල්ලුම තුළ කෘත්‍රිම හිඟයක් ඇතිවුණා. අනියත බියක් ඇතිනොකර ගනිමින් සාමාන්‍ය පරිදි කටයුතු කරන්න කියා මම ඉල්ලා සිටිනවා."