ලේ සහ ඇස් දන් දෙන ආකාරයටම මිනිස් ශරීරයේ අනෙකුත් අවයවද දන්දිය හැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කිරීමට රජයට නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලාංකික කාන්තාවක් කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (06දා) නඩුවක් පැවරීය.
දන් දෙනු ලබන වකුගඩු, අක්මාව, මොළය වැනි අවයව ගබඩා කර ගැනීමට හැකියාව ඇති ගබඩා සකස් කිරීමට රජයට නියම කරන ලෙසද පෙත්සම්කාරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
කොළඹ ප්‍ර‘දේශයේ පදිංචි කාන්තාවක විසින් පවරන ලද නඩුවේ වගඋත්තරකරු ලෙස අධිකරණ හා බුද්ධශාසන ඇමති විජයදාස රාජපක්ෂ මහතා නම් කොට ඇත.
ලේ සහ ඇස් දන් දීමේ ක්‍රමයක් ලංකාවේ ක්‍රියාත්මක බවත්, එලෙස දන්දෙනු ලබන ලේ සහ ඇස් තබාගැනීමේ ගබඩා ලංකාවේ ඇති බවද පෙත්සම්කාරිය පවසයි. මොළය, අක්මාව, වකුගඩු වැනි අවයව දන්දීමට කැමති අය සිටියද එම අවයව ගබඩා කර ගැනීමේ පහසුකම් ලංකාවේ නැතැයි ඇය පෙන්වා දෙයි.
රිය අනතුරුවලට ලක්වී මිය යන අයගෙන් එම අවයව ලබාගැනීමට හැකියාව ඇති බවත්, විවිධ රෝගාබාධවලට ගොදුරු වීම නිසා එම අවයව අවශ්‍ය බොහෝ පිරිසක් සිටියද, ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් එම අවයව ලබාගැනීමට හැකියාවක් නොමැති බවත් ඇය පෙන්වා දෙයි.
මේ හේතුව නිසා අදාළ අවයව ගබඩා කර ගැනීමට හැකියාව ඇති ආකාරයේ පහසුකම් සලසන ලෙස නියම කරමින් වගඋත්තරකාර බුද්ධ ශාසන ඇමතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටියි.