අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද(03දා) පෙරවරුවේ ආරම්භ වූ අතර,ඒ අතරතුර සභාව තුළ රසවත් සිදුවීම් කිහිපයක්ම සිදුවිය. අපි ඒවායින් කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙන එමු.
අයිසේ වාඩිවෙනවා
අද උණුසුම්ම සිදුවීම වූයේ කථානායක ගැටලුවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් කුමාර වෙල්ගම මහතා විපක්ෂනායක තනතුරටත්, මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරටත් පත් කරන්නැයි ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයාට ලිපියක් ලබාදුන් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටි අවස්ථාවේදී කථානායක කරු ජයසූරිය මහතා කියා සිටියේ තමන්ට එවැනි ලිපියක් ලැබී නැති බවයි.
විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් කථානායකවරයා තීන්දුවක් දී ඇති බැවින් ලිපිය පිළිබඳ ගැටලුවක් වී නම් ඒ ගැටලුව ඊයේ (03දා) දිනයේ පොළොන්නරුවේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ විසඳා ගත යුතුව තිබූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කෑ ගසමින් බාධා කරන්නට පටන්ගත් අතර, ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ පාර්ලිමේන්තුව මීට පෙර පැවැති පාර්ලිමේන්තුව සේ පවත්වාගෙන යා නොහැකි බවයි.
අවසානයේ "වඳුරෝ වගේ හැසිරෙන්න එපා - අයිසේ වාඩිවෙනවා" යනුවෙන් පවසන්නටද අගමැතිවරයාට සිදුවිය.
වී වලටයි, මත්තලටයි විවාද දෙකක්
මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මුලින්ම ප්‍රශ්නයක් නැගුවේය. ඊට අගමැතිවරයා පිළිතුරු දෙන අතරවාරයේ විපක්ෂයේ බාධාකිරීම් ලෙස මන්ත්‍රී විමල් වීරවංශ මහතා කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය.
එය අසා සිටි අගමැතිවරයා වී සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට එකඟතාව පළකළේය.
එහෙත් එයින් නොනැවතුණු වීරවංශ මන්ත්‍රීවරයා දිගින් දිගටම මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම ගැන කතා කළේය.
“හරි, අපි මත්තල ගුවන්තොටුපළ ගැන වෙනම විවාදයක් දෙන්නම්” කීවේ සිනාසෙමිනි.
නෑ, නෑ විපක්ෂ නායක නොවෙයි
ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව වැඩිකරගැනීම පිළිබඳ විවාදය මෙවර පාර්ලිමේන්තුවේ පළමු යෝජනාව වු අතර, එය විවාදයට ගැනීම ආරම්භ වූ අවස්ථාවේද සභාගර්භය තුළ උණුසුම්කතාබහක් ඇතිවිය.
යෝජනාවට පක්ෂව හා විපක්ෂව මන්ත්‍රීවරු තර්ක විතර්ක ඉදිරිපත් කළෝය. මේ අතර විවාදයට නිමල් සිරිපාල සිල්වා මන්ත්‍රීවරයාට කථානායකවරයා ආරාධනා කළේ,
“මීළගට විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මහතා”යනුවෙන් අමතමිනි.
එවිට නිමල් සිරිපාල සිල්වා මන්ත්‍රිවරයා එය නිවැරදි කළේ,
“නෑ, නෑ, විපක්ෂ නායක නොවෙයි, නිමල් සිරිපාල විතරයි”යනුවෙනි.
එවිට කථානායකවරයා එය නිවැරදි කරමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට අවස්ථාව ලබාදුන් අතර, ආර්. සම්බන්ධන් මහතා එය සුහදශීලීව ප්‍රතික්ෂේප කිරීම නිසානැවත නිමල් සිරිපාල මන්ත්රීවරයාටම එම අවස්ථාව ලැබිණි.
පංති නායකයා විදුහල්පතිතුමා මුණගැසීමට ගියාය
මේඅතර පාර්ලිමේන්තුවේ තවත් රසවත් සිදුවීමක් වූයේ උදාහරණගෙන ව්‍යවස්ථාවේ කරුණු පැහැදිලිකිරීමට අනුර කුමාර මන්ත්‍රීවරයා උත්සාහ කළ අවස්ථාවේ ඔහුට සිංහල ව්‍යාකරණ පැටළීමයි
“අපි හිතමු මෙහෙම,‘පංති නායකයා පංතියේ ළමුන් සමග විදුහල්පතිතුමා මුණගැසීමට ගියාය.’ නෑ,නෑ, ගියේය..”
(මන්ත්‍රීවරු) “නෑ, ගියෝය වෙන්න ඕන”
(අනුර කුමාර මහතා) “ඕනඑකක්” යනුවෙන් ඊට පිළිතුරු දී සිය කතාව කරගෙන ගියේය.
හැමදාම එන්න බැරිනම් කථානායකට කියන්න
මේ අතර සභාව අමතන අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාවාර සඳහා සහභාගී වීම අනිවාර්ය කළේය.
“මන්ත්‍රීවරු හැමදාම පාර්ලිමේන්තු එන්න ඕන. එහෙම එන්න බැරිනම් කථානායකතුමාට කියන්න. මන්ත්‍රීවරු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඇමතිවරු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.කාරකසභා සභාපතිවරුන් මාස දෙකකට වරක්වත් රුස්විය යුතුයි” යනුවෙන් අගමැතිවරයා කියා සිටියේය.
අයියයි, මල්ලියි, පුතයිකවුරුත් නැහැ
පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරයට චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරුන් එක්ව සිටියද මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණසිටියේ නැත.
එමෙන්ම විවාදයෙන් අනතුරුව ඡන්ද විමසන අවස්ථාවේ මෙම මන්ත්‍රීවරුන් තිදෙනාම සභාගැභේ නොසිටීමද කැපී පෙනිණි.ඔවුන් නොපැමිණි බව පාර්ලිමේන්තු මහලේකම්වරයා නිවේදනය කළේය.
පළමු සහ අවසන් කතාව
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී සරත් මයාදුන්නේ මහතා අද පාර්ලිමේන්තුවේ සිය පළමු සහ අවසන් කතාව කරමින් පර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය.
තමා වැනි අයට පාර්ලිමේන්තු පැමිණීමට ජනවරමක් ලැබී නැති බැවින් ඉල්ලා අස්වන බව ඔහු පැවසීය.
කෙසේවෙතත් ඡන්ද වීමසීම අවසානයේ වැඩි ඡන්ද 127කින් යෝජනාව සම්මත වූ අතර, නව ආණ්ඩුවේ අමාත්‍යමණ්ඩලය හෙට (04දා) දිවුරුම් දීමට නියමිතය.