පුරප්පාඩුව පවතින බන්ධනාගාරයේ අලුගෝසු තනතුර හෙවත් වධක තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනෙකු බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (13දා) පැවැත්වෙන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
වධක තනතුරු දෙක සඳහා ඉල්ලුම්පත් 24ක් ලැබී තිබෙන බවත්, බඳවාගන්නා පුද්ගලයින් දෙදෙනාට අදාළ රාජකාරිය පිළිබඳව සති තුනක පුහුණුවක් ලබාදෙන බවද පවසා සිටියේය.
අලුගෝසු තනතුරේ සේවය කළ දෙදෙනා විශ්‍රාම යාමෙන් පසු එම තනතුරට පුද්ගලයින් දෙදෙනෙකු බඳවා ගනු ලැබුවද, ඔවුන් එම තනතුර අතහැර ගොස් තිබුණි. එහෙත් පසුව ඔවුන් එම තනතුර සඳහා බඳවාගන්නා ලෙසට ඉල්ලීම් කර තිබුණද, නැවත ඔවුන්ට අවස්ථාවක් ලබානොදෙන බවද පවසා සිටියේය.
වධක තනතුර සඳහා මීට පෙර කාන්තාවන් දෙදෙනෙකුද අයදුම්පත් යොමුකර තිබුණු නමුත් මෙවර ඉදිරිපත් වී තිබෙනා සියලුම අයදුම්පත් පිරිමි පුද්ගලයින්ගේය.
බඳවාගන්නා වධකයින් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සේවයට යොදවන බවද පුෂ්පකුමාර මහතා පවසා සිටියේය.
හෙට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගන්නා වධකයන් දෙදෙනා විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට නියමිත අතර, එල්ලා මැරීම සඳහා මරණ දඬුවම ලැබූ සංඛ්‍යාව මේ වනවිට 1115ක් දක්වා ඉහළ ගොස් තිබේ.