වවුනියාව, ඕමන්ත, කොම්බුවයිත්ත කුලම් ප්‍රදේශයේදී ළිඳක වැටී සිටි ඇතින්නට වෙඩි තැබූ වනජීවී නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර වනජීවී කාර්යාලය වෙත මාරු කර යවා තිබේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යාංශ නිලධාරීන් විසින් පරීක්ෂණයක් සිදුකෙරෙන අතර, පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු වනජීවි නිලධාරියාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ඕමන්ත, කොම්බුවයිත්ත කුලම් ගම්මානයේ වගා ළිඳකට පසුගිය 16 වැනිදා රාත්‍රියේ අලින් සිවුදෙනෙකු වැටී සිටි අතර, ඉන් අලින් තිදෙනෙකු බේරා ගැනුණි.
එහිදී මරණයට පත් ඇතින්න පස් කපන යන්ත්‍රයේ සිටි අයට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි සිටි වනජීවී නිලධාරියා විසින් ආරක්ෂිත පියවරක් වශයෙන් ඇතින්නට වෙඩි තබා තිබේ.
එම වෙඩි පහර ඇතින්නගේ හිස ප්‍රදේශයට වැදීම හේතුවෙන් ඇතින්න එම ස්ථානයේදීම මරණයට පත්විය.