ජනතා විමුක්ති පෙරමුණ නිවැරදි මගට ගෙන ඒම පිණිස පක්ෂ දේශපාලන මණ්ඩලය විසුරුවා ක්‍රියාකාරී සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පක්ෂ සම්මේලනයක් කැඳවන ලෙස එම පක්ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ ඇතැමුන් තමන් වයස්ගත යැයි පවසනවාට අමතරව තමන් පිස්සෙකු, ලෙඩෙකු වශයෙන්ද හඳුන්වන බවත්, තමන් වියපත් වුවද රෝගියෙකු නොවන බවත් හෙතෙම ඊයේ (19දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පක්ෂ නායකයන් නැවත පත්කිරීමට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන්ට ඉඩදිය යුතු බවත්, පක්ෂ සාමාජිකයන් කැමති වුවද තමන් කිසිසේත්ම නැවත ජනතා විමුක්ති පෙරමුණේ නායකයා නොවන බවත් හෙතෙම කීය.
“ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව පැහැදිලියි. එහි පහළ කමිටුවල බර අදින ක්‍රියාකාරීන්ට එය වෙනස් කළ හැකියි. මම පක්ෂයේ කිසිවෙකුට කොකු ගැහුවෙ නැහැ. මට දැන් එහි සමහරු වයසක මිනිහා, ලෙඩා යැයි කියනවා. මා පිස්සෙකු, ලෙඩෙකු ලෙස හඳුන්වනවා. දේශපාලන මණ්ඩලයේ ඉන්න අයගෙන් මම ඇර තව එක්කෙනයි උදේට ව්‍යායාම කරන්නේ. අනෙක් අයට කිලෝමීටර් 10කට වඩා පාගමනක යන්න බැහැ. නමුත් මම මෑතකදීත් කිලෝමීටර් 33 ක් විශ්වවිද්‍යාල ආචාර්ය හා ශිෂ්‍ය පාගමනක ගමන් කළා. සමාජ සාධාරණත්වය හා ප්රජාතන්ත්රවාදය සඳහා ලක්ෂයකට අධික ජීවිත ගණනක් බිලි දී හැදූ පක්ෂයට කැපවීමට නොහැකි නම් මම මිය යා යුතුයි කියා මම පතනවා. අහංකාර, නිලධාරීවාදී ඔලමොට්ටලයෝ සමග මට පක්ෂෙ ඉන්න බැහැ. අත්හැරීම් ගැන ගත්තොත් මම සියලු දේ අත්හැරලා ඉන්නේ. මම කියන්නේ දේශපාලන මණ්ඩලයේ නායකයන් සියල්ලන් ඉවත්වෙලා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට නැවත නායකයන් පත්කිරීමට ඉඩ දිය යුතුයි. අලියාගේ බෙල්ලට සීනුව දාලා දැන් තියෙන්නේ. එහෙම කරන්න අපි ඉඩ දෙන්නෙ නැහැ. වමනෙ දමලා ආයෙ කන්නෙ නැහැ වගේ මම ආයෙත් පක්ෂයේ නායකයා වෙන්නෙ නැහැ* යි හෙතෙම කීය.
සෝමවංශ අමරසිංහ මහතා සමග මාධ්‍ය හමුවට ලංකා පුවත්පතේ කර්තෘ වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත කරුණාරත්න සහ ලංකා තැපැල් සේවක සංගමයේ සභාපති ජයන්ත විජේසේකර යන මහත්වරු සහභාගී වූහ.