රිමාන්ඩ් බාරයේ පසුවන අලි රොෂාන් නමැත්තා බන්ධනාගාරය තුළ සිටම අලි ජාවාරම මෙහෙය වන බවට තොරතුරු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (08දා) දැනුම් දුන්නේය.
පසුගිය කාලයේ විදේශිකයන් පිනවීම සඳහා පාන්දර යාමයේ අතුරුගිරිය ප්‍රදේශයේ අලි පෝලෝ තරගයක් සංවිධානය කිරීමත්, එම ක්‍රීඩා තරගය වටලා නීතිවිරෝධී අලි පැටවෙකු අල්ලා ගත් අවස්ථාවේදී අලි රොෂාන් නමැත්තාගේ බිරිඳ එතැනට කඩාපැන වනජීවී නිලධාරීන්ගේ රාජකාරිවලට බාධාවන අයුරින් හැසිරීමත් ඊට උදාහරණ ලෙස පෙන්වා දිය හැකි බවත් දිලීප පීරිස් මහතා පැවසීය.
කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේ සිටියදී වනජීවී නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා වනජීවී නිලධාරීන් පිරිසක් සමග ගොස් අල්ලා ගන්නා ලද අලි පැටවාට අදාළ පරීක්ෂණ කටයුතු වනජීවි නිලධාරීන් විසින් නිසි පරිදි නොකිරීම නිසා එම පරීක්ෂණ කටයුතු රහස් පොලීසියට බාරදී ඇති බව නීතිඥවරයා පැවසීය. ඒ අනුව නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයිද ඔහු පැවසීය.
ඇලන් මැතිණියාරාමයේ වැඩවසන උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන්ද අලි පැටවා ගැන විමසීමේදී එම අලි පැටවා සම්බන්ධයෙන් සැකකරුගේ සෘජු සම්බන්ධයක් ඇති බව හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මහරගම විපස්සනාරාම විහාරස්ථානයේ ලිපිනයට විවිධ පුද්ගලයන්ගේ නම්වලින් අලි බලපත්‍ර 10ක්ද, දෙව්රම්වෙහෙරේ කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ නමට අලි බලපත්‍ර දෙකක්ද ලබාගෙන ඇති බවත් හෙළිවී ඇතැයි ඔහු පැවසීය. ප්‍රසිද්ධ හිමිවරුන් වැඩ වසය කරන විශාල ප්‍රමාණයේ ඉඩ සහිත පන්සල් ඉලක්ක කර මෙම අලි ජාවාරම කරගෙන ගිය බවට රහස් පොලීසිය තොරතුරු හෙළිකරගෙන ඇතැයි දිලීප පීරිස් මහතා දැනුම් දුන්නේය. මෙම විහාරස්ථානවල හිමිවරුන් අලි ජාවාරමට සම්බන්ධ වූ අයද නොමැති නම් එම ජාවාරමේ වින්දිතයන්ද යන්න හෙළිකරගැනීම සඳහා පරීක්ෂණ මෙහෙයවන බවත් ඔහු පවසා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පරීක්ෂණ කටයුතු හැකි ඉක්මනින් අවසන් කරන්නැයි රහස් පොලීසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන 21 වැනිදා තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත්කළේය.