වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත සහ පොදුවේ රටේ පවතින නීති උල්ලංඝනය කරමින් වයස අවුරුදු 3 ක් සහ 4 ක් වයසැති අලි පැටවුන් දෙදෙනෙකු වළක් තුළ රඳවා තබාගනිමින් ජනතාවට ප්‍රදර්ශනය කර මුදල් ගරාගැනීමේ ජාවාරමක් කෑගල්ල ප්‍ර‘දේශයේ සිදුවන බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරයි.
කෑගල්ල, රන්දෙනිය, හිරිවඩුන්න ප්‍ර‘දේශයේ මෙම ජාවාරම සිදුවන බවත්, එම කටයුත්ත සිදුකරනු ලබන්නේ මේ රටේ පුරවැසියෙකු සහ නෙදර්ලන්ත ජාතිකයෙකු එක්ව බවද ඔහු පවසා සිටියේය.
පොදුවේ රටේ පවතින නීතියට අනුව කිසිදු සත්ත්වයෙකුට හිංසා කළ නොහැකි වුවත් මෙම සතුන් දෙදෙනාම වළක් තුළ හිරකර දමා මෙම ජාවාරම් කටයුත්ත සිදුකරන බවද ජාතික සම්බන්ධීකාරකවරයා සඳහන් කළේය.
මීට අමතරව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අනුව බලපත්‍රයක් ලබාගෙන හෝ මවකගෙන් වෙන්කර ගත් වයස අවුරුදු 05 ට අඩු අලි පැටවෙකු ගෘහාශ්‍රිත කිරීම සපුරා තහනම් බවද හෙතෙම පවසා සිටියේය. මේ අනුව වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත අනුවත් මෙම කටයුත්ත නීතිවිරෝධී බවත්, මේ නිසා අදාළ බලධාරීන් මේ පිළිබඳව සොයාබලා අලි පැටවුන් මුදාගෙන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.