තම පියා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හෝ තම මව සිංගප්පූරු ලිපිනයේ නොමැති බව ඔවුන්ගේ දියණිය මෙන්ම අර්ජුන් ඇලෝසියස් මහතාගේ බිරිඳ වන නතාෂා කාංචනා අංජලී මහේන්ද්‍රන් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.
එමෙන්ම, පසුගිය මස 20 වැනිදා තමන් සිංගප්පූරුවට ගිය අවස්ථාවේ ඔවුන් තමන්ට මුණනොගැසුණු බවද අංජලී මහේන්ද්‍රන් මහත්මිය රහස් පොලීසිය හමුවේ පවසා ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නාය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ලිපිනයේ පදිංචිය සඳහා ලබන 30 වැනිදා පැමිණෙන බවට ඩී.එච්.එල්. කුරියර් සේවයට දැනුම් දී ඇතැයි සඳහන් කළ හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ලබන 08 වැනිදාට හෝ ඊට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අධිකරණය මගින් දුන් නියෝගය බාරදීම සඳහා එදින කටයුතු කරන බවද දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාදෙන ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතාට නියම කරමින් මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළ අතර, එම නියෝගය බාරදීමට අවස්ථා දෙකකදීම රහස් පොලීසිය ගත් උත්සහයන් ව්‍යර්ථ විය.
ඒ අනුව එම නොතීසිය අධිවේගී තැපැල් සේවාව, එනම් ඩී.එච්.එල්. කුරියර් සේවය මගින් ඒ මහතාගේ සිංගප්පූරු නිවසේ ලිපිනය වෙත ලැබීමට සලස්වන ලෙසට මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයට අනුව එය ලබාදීමට ගිය එම අධිවේගී සේවාවේ සිංගප්පූරු නියෝජිතයා විසින් කරුණු වාර්තා කරමින් ‘අදාළ නොතීසිය රැගෙන එම ලිපිනය වෙත ගියද, එම පුද්ගලයා එහි නොමැති බැවින් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගත් බවත්, එහිදී ‘%ලක්ෂ්මන්’ නමැත්තෙකු කතා කර තමන් මාර්තු මස 30 වැනිදා සිංගප්පූරුවට එන බව දැනුම් දුන් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.
අධිකරණයේ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා සිය රාජකාරි ජංගම දුරකථනයෙන් එස්.එම්.එස්. පණීවුඩයක් මගින් සහ රාජකාරි විද්‍යුත් තැපෑලෙන් විද්‍යුත් පණිවුඩයක් මගින් යවා ඇති ඇතත්, මෙතෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැනුම් දුන්නාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ලබන මාර්තු මස 08 වැනිදාට හෝ ඊට පෙර ලංකාවට පැමිණ රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට නියම කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නොතීසියක් නිකුත් කර ඇති හෙයින් නැවත ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත්, ලබන 08 වැනිදායින් පසු වෙනත් නියෝගයක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුම්වත් කරන ලෙසත් නියම කළාය.