හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමේ මහජන හමුවලදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට නගින්නේ නැත්තේ ඇයිදැයි අත්තනගල්ල ආසන සංවිධායක වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රශ්න කරයි. අත්තනගල්ල ශාඛා සමිති නියෝජිතයින් ඊයේ (13දා) හමුවූ අවස්ථාවේදී ඔහු මෙම ප්රශ්නය යොමු කළේය..
"හිටපු ජනාධිපතිතුමාගේ ක්‍රියාදාමය දැක්කම මම හිතන්නේ නෑ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එතුමා ආදරයක් තියෙනවනං අද මේ ගමෙන් ගමට ගිහිල්ලා කරන විනාශය එතුමා නවත්තන්න ඕනා. අපි දැක්කා මාතර රැස්වීමක් තිබ්බා. එක්කෝ කොන්ද කෙළින් තියාගෙන එතුමා වේදිකාවට නගින්න ඕන. නැත්නම් එතනින් ඉවත් වෙලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂය හදාගන්න ඉඩ දෙන්න ඕනා.
නමුත් එතුමා ඒ දෙකම කරන්නේ නැහැ. තමුන්නාසේලා දන්නවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවක් හදලා, අපි හැමෝටම අවශ්‍ය වෙලා තිබුණ 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරලා, 20 වැනි සංශෝදනය ගේන්න පහුගිය සති කිහිපය තුළ කටයුතු කළා.
මේ රටට අවශ්‍ය ප්‍රධානතම කාරණා දෙකක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාස හතරක් පහක් ඇතුළත අපට කරලා දුන්නා. ඉදිරි සති කිහිපය ඇතුළත 20 වැනි සංශෝධනය ගෙනල්ලා තමුන්නාන්සේලාගේ අනාගතයට වග කියන මන්ත්‍රීවරයෙක් පත්වෙන විදියට වැඩපිළිවෙළක් කරනවා." යැයි ඔහු ප්‍රකාශ කළේය.