වත්මන් රජය ඉදිරිපත් කළ අතුරු අයවැය යෝජනාවලින් අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක බදු බර පහත දමමින්, ඒවායෙහි මිල පසුගිය ජනවාරි 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටම අඩු කරන බව පවසා සිටියත්, තවමත් වෙළෙඳ පොළේ එවැනි මිල අඩුවීමක් සිදුව නොමැති බව 'අද' කළ සොයා බැලීමකදී තහවුරු විය.
පසුගිය ජනවාරි 29 වැනිදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය යෝජනාවකට අනුව සීනි, කිරිපිටි, සස්ටජන්, තිරිඟු පිටි, පාන්, මුං ඇට, හාල් මැස්සන්, ටින් මාළු, කොත්තමල්ලි, උඳු, උම්බලකඩ, කහ, මිරිස් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 13ක බදු අඩු කරමින්, එදින මධ්‍යම රාත්‍රියේ සිටම එම භාණ්ඩවල මිල අඩු කරන බව සඳහන් විය.
කෙසේ වෙතත්, මෙසේ මිල අඩු නොවීමට හේතුව මෙම භාණ්ඩ සපයන සමාගම් සහ ආයතන විසින් අදාළ නිල දැනුම්දීම් තොග හා සිල්ලර වෙළෙන්දන්ට දැනුම් නොදීම බවත්, ඒ තත්ත්වය තුළ මෙම මිල අඩුවීම තවමත් නොසලකා හැර ඇති බවත්, ඒවා සොයා බැලීමට රජයේ පාර්ශ්වයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති වීම බවත් පෙනී ගියේය.
විශේෂයෙන්ම, රජයේ අමාත්‍යාංශවලට සෘජුවම සම්බන්ධ ආයතන වන සමුපකාර, සතොස, කෝප් සූපර්, කෝප් සිටි ආදී ආයතනවල පවා මෙම මිල වෙනස් වීම් තවමත් නිසියාකාරයෙන් සිදුව නොමැති බවද වාර්තා විය.