2016 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියට ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්රීවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා උත්සාහ කරමින් සිටින බව අදට වාර්තාවේ.
මෙයට අදාළව ජනාධිපතිවරයා සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (23දා) සවස විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර, පක්ෂයක් ලෙස අයවැයට සහාය ලබාදෙන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එහිදී සියලුම මන්ත්රීවරුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
මේ පිළිබඳව කළ විමසීමකදී ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු සඳහන් කළේ, කාරණා තුනක් සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධානය යොමුකළ බවයි.
පළමු කාරණය ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්රීවරුන් එයට සහාය ලබාදිය යුතු බවට මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේ යැයි අදාළ මන්ත්රීවරයා පැවසීය. එසේම වත්මන් යහපාලන ආණ්ඩුවේ කටයුතුවලට සහාය ලබාදෙන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සෑම මන්ත්රීවරයෙකුටම වාහනයක් සමග තෙල් සහ රියැදුරෙකු ලබාදීමටත් එහෙත් ආණ්ඩුවේ කටයුතුවලට සහාය නොදෙන මන්ත්රීවරුන්ට එම අවස්ථාව ලබා නොදීමටත් එහිදී යෝජනා වී තිබේ.
එමෙන්ම, ආසනවල සංවර්ධන කටයුතු සඳහා ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා මන්ත්රීවරුන්ට ලබාදෙන ප්රතිපාදන මුදල් සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර එහිදී ද ආණ්ඩුවේ කටයුතුවලට සහාය දෙන සෑම මන්ත්රීවරයෙකුටම අයවැයෙන් යෝජනා වූ පරිදි එක් ග්රාම නිලධාරී වසමක් සඳහා රුපියල් ලක්ෂ 15 බැගින් ලබාගත හැකි බවත් සඳහන් වී තිබේ.
මේ අතර අයවැය යෝජනාවලියට සහාය ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අද (24දා) දිනයේදී අවස්ථාවක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මන්ත්රීවරයා මෙහිදී ඉල්ලා ඇති අතර, අද පෙරවරු 11.00 ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හැර ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් 49 දෙනෙකු සහභාගී වීමට තීරණය කර තිබේ. එහෙත් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාවගේ සහන උදුරාගත් අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බැවින් ඒ සඳහා සහාය පළකිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නොමැති බවයි. අද (24දා) පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබඳව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට දන්වා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.