පාර්ලිමේන්තුව කල් තබා බැඳුම්කර සිද්ධිය යට ගැසීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගනිමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මේ නිසා බැඳුම්කර සිද්ධිය පිළිබඳව ඉදිරිපත්වී තිබෙන කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කර නීතිපතිවරයාට වාර්තාව ලබාදෙන තෙක් පාර්ලිමේන්තුව කල්දැමීමට කටයතු නොකරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
කෝප් කමිටු වාර්තාව විවාදයට ගන්නා ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටි බවත් එහෙත් අයවැය විවාදය නිසා එය සිදුකිරීමට නොහැකිවූ බවද පවසා සිටියේය.
මේ නිසා අයවැය විවාදය අවසන්වූ වහාම බැඳුම්කර සිද්ධිය පිළිබඳව විවාදය ගැනීමට කටයුතු කරන ලෙසට පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලා සිටි බවද අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.