විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පසුගිය 29 වැනිදා නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් මහතා හමුවුවත්, එම සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශය අසාමාන්‍ය නිහැඬියාවකින් පසුවන බව බී.බී.සී.ය වාර්තා කරයි.
බී.බී.සී.යේ බෙංගාල අංශයේ වාර්තාකරු ෂුබෝජෝති ඝොෂ් උපුටා දක්වමින්, ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂීඩ් සහ අමාත්‍ය ජී.එල්.පීරිස් අතට අතදෙන ඡායාරූපයක් ඉන්දීය විදේශ අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කිරීම හැරුණු කොට ඉන්දීය රජය මේ රැස්වීමේ සිදු වූ දේ ගැන හෝ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ සංචාරය ගැන හෝ එකදු වචනයක් හෝ කියා නැති බව වාර්තා කරයි.
මේ අතර, බී.බී.සී.ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, ඉදිරි මානව හිමිකම් සමුළුවේදී උපකාර ලබාගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා දිල්ලි නුවරට ගොස් සිටියදී යුද අපරාධ චෝදනා පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය දක්වන ලෙස මානව හිමිකම් සංවිධාන ඉන්දීය රජයෙන් ඉල්ලා සිට ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් මාර්තු මාසයේ ගෙන ඒමට එක්සත් ජනපදය මුල් වී සැලසුම් කරද්දී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා හමුවන බවත් බී.බී.සී. වාර්තාවේ වැඩිදුරටත් කියැවෙයි.
කෙසේ වෙතත් ජී.එල්.පීරිස් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය (30දා) නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුනේ මෙම සංචාරයේදී දෙරට අතර සබඳතාවන්ට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් ඉතා පුළුල් අන්දමින් සාකච්ඡා කෙරුණු බවයි.