අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක පදවිය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේලා පාර්ශ්ව තුනක් අතර එකිනෙකට පරස්පර යෝජනා මතුව ඇතැයි වාර්තා වෙයි.
අමරපුර මහා නිකායේ සම මහා නායක කොටුගොඩ ධම්මාවාස හිමියන්ට මහා නායක ධුරය ලබාදීම සඳහා ස්වාමීන් වහන්සේලා පිරිසක් කටයුතු කරමින් සිටින අතර, අමරපුර නිකායේ කල්‍යාණ වංශ නිකායේ මහා නායක, රාජගිරිය තපෝවනය විහාරාධිපති, පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි හිමියන්ට මහා නායක ධුරය ලබාදීමට තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් කටයුතු කරමින් සිටිති.
දැනට බොහෝ දෙනාගේ කැමැත්ත ඇත්තේ දොඩම්පහළ චන්ද්‍රසිරි හිමියන්ට බවත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් උන්වහන්සේට මහනායක ධුරය ලබාදීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවත් වාර්තා වේ.
එහෙත් ජ්‍යෙෂ්ඨත්වය හා වයෝවෘද්ධත්වයෙන්, රට හා ලෝකය සම්බන්ධව දැනුමක් ලබා ඇත්තේත්, ධර්ම දේශනා අතින් බෞද්ධයන් දැන හඳුනාගෙන ඇත්තේත් කොටුගොඩ ධම්මාවාස හිමියන් බව ඊට විරුද්ධ කණ්ඩායමේ අදහස වී තිබේ.
සමස්ත අමරපුර නිකායේ පාර්ශ්වයක මහනායක ස්වාමීන් වහන්සේ නමකට පමණක් උත්තරීතර මහනායක ධුරය පිරිනැමිය යුතු බවට එම නිකාය පිහිටුවීමේ ව්‍යවස්ථාවේ සඳහන් වන බැවින් කොටුගොඩ ධම්මාවාස හිමියන්ට මහනායක ධුරය ලබාදීමට බාධා මතුව ඇතැයිද වාර්තා වෙයි.
ධම්මාවාස හිමියන් අනු නිකායක මහනායක ධුරයක් නොදරන අතර, දොඩම්පහළ චන්ද්‍රසිරි හිමියන් අනුනිකායක මහනායක ධුරයක් දරන බැවින් උන්වහන්සේ මහනායක ධුරයට පත්වීමේ වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වේ.
මේ අතර අමරපුර නිකායේ උත්තරීතර මහනායක ධුරය සඳහා සුදුසුකම් සැපිරූ ස්වාමීන් වහන්සේ නමක් නොමැති බව කියමින් එම ධුරය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් සිටින බවද වාර්තා වේ.
මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්, දවුල්දෙණ ඤාණිස්සර නාහිමියන් වැනි හිමිවරුන් මෙම උත්තරීතර තනතුර දැරුවද මේ වනවිට එවැනි ප්රබුද්ධ හිමි නමක් අමරපුර නිකායේ නොමැති බවත්, අමරපුර නිකායේ සභාපති තනතුර සහ මහා ලේඛකාධිකාරී තනතුර තිබියදී උත්තරීතර මහනායක තනතුර අහෝසි කළ යුතු බවත් එම කණ්ඩායමේ අදහස වී තිබේ.
පූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර හිමියන්ගේ අපවත් වීමෙන් පසුව හිස් වූ එම නිකායේ මහනායක ධුරය සම්පූර්ණ කිරීම සඳහා මේ මස 21 වැනිදා සමස්ත අමරපුර මහා නිකායේ කාරක සභාව රැස්වීමට නියමිතය.