හඳුනා නොගත් ආකාශ වස්තු කැබැල්ලක් නොවැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකාවට කිලෝමීටර් 64 ක් දකුණින් පිහිටි මුහුදු ප්‍රදේශයට කඩා වැටීමේ අවදානමක් පවතින බව නාසා ආයතනය නිවේදනය කරයි.
WT1190F ලෙස නම් කර ඇති මෙම ආකාශ වස්තුව, ඇතැම් විට අභ්‍යවකාශයේ රැඳී තිබූ, මිනිසා විසින්ම ඒ වෙත යැවූ යම් වස්තුවකට අයත් අපද්‍රව්‍ය කොටසක් විය හැකි බවත් එම ආයතනය සැක පහළ කර සිටියි.
මීටරයක් හෝ මීටර් දෙකක් පමණ දිගකින් යුත් මෙම WT1190F ආකාශ වස්තුව ඇතැම් විට පෘථිවි වායුගෝලය හා ගැටීමේදී පිළිස්සී යා හැකි බවත් ඔවුන් සඳහන් කර සිටියි. එහෙත් එසේ නොවී මෙය පෘථිවිය වෙත වැටුණද ඉන් පෘථිවිවාසීන්ට හානියක් සිදු නොවිය හැකි බව විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අභ්‍යවකාශය නිරීක්ෂණයේ නිරත හවායි දූපත්හි මවුනාකියා කන්දේ පිහිටි දුරේක්ෂකයක් හරහා 2012 වසරේදී මෙම WT1190F ආකාශ වස්තුව පළමුවරට දැකගැනීමට හැකියාව ලැබී ඇත. ඉන්පසුව ඇමෙරිකාවේ ටස්කන්හි ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ කැටලිනා අහස් සමීක්ෂණ වැඩසටහනේදී මෙය හඳුනාගෙන ඇත. එහිදී සිදු කළ මූලික නිරීක්ෂණවලදී මෙය ඇතැම් විට එය 1970 දශකයේදී සිදු කළ ඇපොලෝ සඳ ගවේෂණ මෙහෙයුමට අයත් යානයක කොටසක් බවටද අදහසක් පවතියි. මේ අතරම නෙදර්ලන්තයේ නූර්ඩ්විජ්ක්හි පිහිටි පෘථිවි ආසන්න ආකාශවස්තු පිළිබඳ පර්යේෂණයේ නිරත යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සියද මේ WT1190F ආකාශ වස්තුව පිළිබඳව නිරීක්ෂණයේ යෙදී සිටියි.
තවත් දින 17 කින් සිදුවීමට නියමිත මෙම ආකාශ වස්තු කඩා වැටීම සම්බන්ධයෙන් අද පුවත්පත සමගින් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ එය නාසා ආයතනය ස්ථිරවම ප්‍රකාශ කරන ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයට වැටීමේ ඇති හැකියාව තවමත් නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි. එම ස්ථානය වෙනස් වීම සඳහා සුළඟේ දිශාවද බලපාන බව ද ඔහු සඳහන් කළේය. මීට පෙරාතුවද නාසා ආයතනය පැවසූ මෙවැනි අභ්‍යවකාශ අපද්‍රව්‍ය කඩා වැටීමේ ස්ථාන වෙනස් වූ බවද ආචාර්ය ජයරත්න මහතා කියා සිටියේය.
මේ වන විට අභ්‍යවකාශය පුරා මෙවැනි ආකාරයේ අපද්‍රව්‍ය කොටස් මිලියන ගණනක් විසිරී පැතිරී තිබෙන අතර එය මේ වනවිට මහත් ගැටලුවක් බවටද පත්ව තිබේ.
අභ්‍යවකාශයේ ග්රාහක කැබලිවලට අමතරව පවතින මෙම අපද්‍රව්‍ය කොටස් මිනිසා විසින් ඒ වෙත යවන ලද රොකට්ටුවල කොටස්, අත්හැර දැමුණු චන්ද්‍රිකා යනාදියෙන් සමන්විත වී තිබේ. ගණන් බලා ඇති ආකාරයට අද වනවිට අගල් දෙකකට වඩා විශාල අපද්‍රව්‍ය කැබලි 25,000 කට ආසන්න සංඛ්‍යාවක්ද, සෙන්ටිමීටරයකට වඩා වැඩි කැබලි ලක්ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක්ද අභ්‍යවකාශයේ පවතී. මේවා දැනට ක්‍රියාකාරී මට්ටමේ පවතින අභ්‍යවකාශ යානා හෝ චන්ද්‍රිකා සමගින් ගැටීම මෙහි ඇති බරපතලම තර්ජනයයි.
භානුක අමරසිංහ