නව ව්‍යවස්ථාව සැදීමට සියලු පක්ෂ එකතුවන ලෙසත් එහිදී ගමන් මග වෙනස් කිරීමට උත්සහ නොකරන ලෙසත් ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේසන් මහතා පැවසීය.
කොළඹ පැවති උත්සවයකදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය
අපි මේ දවස්වල අළුත් ව්‍යවස්ථාවක් හදනවා. ව්‍යවස්ථාව හදන මෙහෙයුම් කමිටුවේ මමත් සමාජිකත්වය දරනවා. පක්ෂ නායකයෙකු විදියට මම හැම කම්ටුවකම ඉන්නවා. අලුත් ව්‍යවස්ථාවක් හදන්න තමයි අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ. නමුත් අපේ ආණ්ඩුවේ ඉන්න සමහර ඇමතිවරු කියනවා අළුත් ව්‍යවස්ථාවක් එපා කියලා. ජනමත විචාරණයක් එපා කියලා කියන්න එයාලට බෑ..එහෙම කියන්න අයිතියක් නෑ. 2015 වසරේ ජනවාරි මස අපි එක්ක හිටපු නැති අය තමයි මේ විධියට කතා කරන්නේ. අපි අළුත් ව්‍යවස්ථාවක් හදනවා කියලා තමයි මේ ජන වරම ලබා ගත්තේ. මේ දේවල් තේරෙන්නේ නැති අය තමයි නව ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නේ. එන්න අපි එක්ක එකතු වෙන්න නමුත් අපේ මඟ වෙනස් කරන්න හදන්න එපා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා නම්, ජනමත විචාරණයකට ගියා නම්, සිංහල ජනතාව අකමැති වෙනවා, අපි පැරැද්දුවා කියලා කියනවා එහෙම වෙන්නේ නෑ. මට මේ රටේ සිංහල ජනතාව ගැන දැඩි විශ්වාසයක් තියෙනවා. අපි මේ නව ව්‍යවස්ථාව තුළ බෞද්ධ ආගමට තියෙන පළමු තැන නැති කරන්නෙත් නෑ. ඒ වගේ ම උතුර හා දකුණ එකට ඒකාබද්ධ වෙන්නෙත් නෑ. අපි බලය බෙදීම සිදු කරන්නේ පළාත් පදනම් කරගෙන මිසක් පළාත් බෙදීමෙන් නොවෙයි. බය වෙන්න දෙයක් නෑ. එකම රට කියන තැන ඉඳන් තමයි අපි හැමදේම කරන්නේ. ඒ හින්දා තමන් බය වෙලා ජනතාවත් බය කරලා රටට ගිනි තියන්න එපා කියලා ආණ්ඩුවේ ඉන්න සමහර ඇමතිවරුන්ට මම කියන්න කැමතියි.