යාපනය කට්ටෙයිකාඩු මුහුදු තීරයේදී යාපනයේ ධීවරයන් පිරිසකට ඉන්දීය ධීවරයන් පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් යාපනයේ ධීවරයන් සිවුදෙනෙකු තුවාල ලබා තිබේ. එසේ පහරදුන් බව කියන ඉන්දීය ධීවරයන් 43 දෙනෙකු ඊයේ (28දා) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බවට යාපනය දිස්ත්රික් ධීවර පරීක්ෂක කාර්යාලය කියා සිටියේය.
කට්ටෙයිකාඩු මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කාර්යයේ යෙදී සිටි යාපනයේ ධීවරයන් පිරිසකට මෙසේ ඉන්දියාවේ සිට පැමිණි ධීවරයන් විශාල පිරිසක් විසින් එකවර පහර දී තිබේ. මේ පිළිබඳව ධීවරයන් යාපනයේ නාවික හමුදාවට දැනුම්දීමෙන් පසු නාවික හමුදාව අදාළ ඉන්දීය ධීවරයන් පිරිස අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව පොලීසියට භාර දී තිබේ.
අනතුරුව පේදුරුතුඩුව පොලීසිය එම ඉන්දීය ධීවරයන් 43 දෙනා පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර, ඔවුන් මේ මස 13වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට පේදුරුතුඩුව අධිකරණය නියෝග කළේය.