රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලඥයන්ද මාධ්‍යයට බියක් දක්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, අද (06දා) මාතලේ දිස්ත්‍රික්කය තිරසාර පරිසර හරිත නගරයක් බවට පත්කිරීම සඳහා සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
''මාධ්‍යයට යුතුකමක් තියෙනවා අපි වැරදි මගක යනවා නම් එය පෙන්නලා දෙන්න. අපේ මැතිවරණ පොරොන්දුවක් අනුව තොරතුරු දැනගැනීමේ පනත ගෙනල්ලා මාධ්‍යට වගේම මහ ජනතාවටත් ඒ අයිතිය ලබාදුන්නා'' යැයි පැවසීය.
දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාව වෙත ගෙනයන ලෙසද හෙතෙම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.
මීට අමතරව බ්‍රාහ්මණ ඇළ අසල ඉදිකිරීමට යෝජිත රථ වාහන නැවතුම්පළ සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය හේතුවෙන් එම ඉදිකිරීම පරිසරයට හානි නොවන අන්දමින් කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ගෙවීගිය වසර දෙකක කාලය තුළ මාතලේ දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 2000කට වැඩි මුදලක සංවර්ධනයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මාතලේ - රවින්ද්‍ර විරාජ් අබයසිරි