රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටේ රෝගීන් අමාරුවේ දමා නැවත පාරට බසින්නට ආවොත් තමන්ද පාරට බසින්නට සූදානම් බවත්, එවිට ඔවුන්ට හොඳ පිළිතුරක් ලැබෙනු ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
.එමෙන්ම මෙරට තරුණයන් සහ වෘත්තීයවේදීන් සහභාගි වන විශාල පෙළපාළියකට එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂයට ආරාධනා ලැබී තිබෙන බවත්,එමපෙළපාළියට එකතු වීමට පක්ෂය තීරණය කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ(18දා)අගමැතිවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,
"එක්සත් ජාතික පෙරමුණ මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයත් එම වැඩපිළිවෙළට පිටුවහලක්.ආසියාවේ වෙළෙඳපොළ සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට විරුද්ධව චෝදනාවක් කර තිබෙනවා. ඔවුන්ගේ කටයුතු පිළිබඳව සෙවීමට රහස් පොලිසිය යෙදවූවාය යන්න එම චෝදනාවයි. මාධ්‍ය කිහිපයකුත් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යභාරය වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සෙවීම නොවෙයි.
මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදිය යුතුයි. ඊට විරුද්ධ වෙන්නට ඔවුන්ට තිබෙන අයිතිය කුමක්ද? රටේ රෝගීන් අමාරුවේ දමා නැවත පාරට බහින්න ආවොත් අපිත් පාරට බහින්න ලෑස්තියි. එවිට හොඳ පිළිතුරක් ලැබේවි. ඔය සෙල්ලම කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමාල සමග හැම දෙනාම නැහැ. බොහෝ දෙනෙක් මා හමුවී ඒ බව පවසා තිබෙනවා.
නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර තරුණයන් සඳහා රැකියා ලක්ෂ 10 ක් බිහි කිරීම සඳහා ජනතාව අපට වරමක් ලබාදී තිබෙනවා. මොවුන් බහුතර ජනමතයට විරුද්ධව කටයුතු කරන්නේ ඇයි? මොවුන් නැති කරන්නේ ජනතාවගේ විකාශන අයිතිය" යැයිද පවසා සිටියේය.