පාර්මේන්තුවේ ඊයේ සම්මත වූ පරිපූරක ඇස්තමේන්තුව අලුතෙන් මුදල් ඉල්ලා සිදූ වූවන් නොවන බවත් එය 2015 අයවැය අනුව එම මුදල් ලබා ගැනීම සිදු වන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී ඊයේ (05) සම්මත වීම සම්බන්ධයෙන් වැය ශිර්ෂය සම්බන්ධයෙන් වැරදි අර්ථ කතන සිදු වූ බවයි. මේ සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති අතර ඉන් පසු මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැය ශිර්ෂ 240 යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ ප්‍රතිපාදන සලසා ගනිමින් අවිශිචිත අවස්ථා අරමුදලින් ලබාගත් මුළු අත්තිකාරම් මුදලි වූ රුපියල් මිලියන 55 පියවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය මහමැතිවරණයෙන් පසු අමාත්‍යාංශ බෙදීයාමේ නව සංයුතිය තුළ එම අමාත්‍යාංශ 11ක් වෙත ලබාදුන් අත්තිකාරම් මුදල පියවීම කවර අමාත්‍යාංශයක් විසින් කළ යුතු ද යන්න නිශ්චිතව ම හඳුනා ගැනීමට අසීරු වූ බැවින් එම අවස්ථාවලදී එම අමාත්‍යාංශ සඳහා අවිනිශ්චිත අරමුලින් අත්තිකාරම් ලබාගත් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2015 ජනවාරී මස 08 දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසු එවකට පැවති රජයේ අමාත්‍යාංශ ගනන 30ක් වුවත් එම වර්ෂයේ පැවැති මහමැතිවරණයෙන් පසු තවත් අමාත්‍යාංශ 11ක් එක් වූ අතර ඒ සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් වී නොතිබුණු බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව එක් අමාත්‍යාංශකට රුපියල් මිලියන 5 බැගින් ප්‍රතිපාදන ලබාදීමට සිදු වූ බව ද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ එකඟතාවය මත අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් මුදල් වියදුම් කිරීම සඳහා මෙම රුපියල් මිලියන 55ක් මුදල ලබා ගත් බව ද අමාත්‍යවරයා වැඩිදුරත් පැවසීය.