"අපට ආප්ප න්‍යාය පුරුදු නෑ. කුරහන් තලප කාපු අපට ආප්ප න්‍යාය හඳුනා ගන්න බැරි වුණා. එතනයි අපට වැරදුණේ." යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම ඒ අදහස් පැවසුවේ, කුලියාපිටියේ රණස්ගල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමනි. "මත්තල ගුවන් තොටුපළ හදලා ඉවර වෙනකොට ඒ ගුවන් තොටුපළේ සිට දිනක ගුවන් යානා 24 ක ජාත්‍යන්තර ගමන් වාර ක්‍රියාත්මක වුණා. මේ ආණ්ඩුව ඇවිල්ල ඒක නැවැත්තුවා. මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කළා.
හම්බන්තොට වරයා ස්වීමිං පූල් එකක් කරනවා කීවා. හැබැයි ඒකට ටිකක් බය වුණා. මොකද හම්බන්තොට වරාය ගැඹුරු වැඩි නිසා. මං කියන්නේ මේ සම්පත් විනාශ කරන්නේ නැතුව එවායින් ප්‍රයෝජන ගන්න. රටේ හා ජනතාවගේ යහපතට ප්‍රයෝජන ගන්න. වරායට එන නැව් නවත්තන එක නොවෙයි හපන්කම.
ජනාධිපතිතුමාම කියනවා බජට් එකේ අයවැයෙන් වෙන්වුණු ණය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණක් ණය අරං තියෙනවා කියලා. එක හෙළි කළාය කියලා විගණකාධිපතිවරයාට දඬුවම් කරන්න හදනවා." යැයි පවසා සිටියේය.
කුලියාපිටිය - චාමර විලරත්න