අනුරාධපුර සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කිරීම සහ සමාජ ශාලාවට අලාභහානි සිදුකිරීම පෞද්ගලික අමනාපයක් මත සිදුකළ කටයුත්තක් බවට හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අනුරාධපුර, කඩ පනහ, මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඉකුත් 24 වැනිදා රාත්‍රී ඇතුළු වූ කණ්ඩායමක් සිදුකළ පහරදීම හේතුවෙන් එහි හිමිකරු මියගිය බවත්, මීට අමතරව සේවකයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන අනුරාධපුර පොලීසිය විසින් ඊයේ(26දා) උදෑසන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, මීට අමතරව සැකකරුවන් කිහිපදෙනෙකු අදාළ ස්ථානයට පැමිණීමට භාවිත කළ මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් බවත් ඔහු පවසා සිටියේය.
ඊයේ(26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 15 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින බවත්, එම පිරිස අතර යුද හමුදා විශේෂ බළකායෙන් පළාගොස් සිටිනා සෙබළෙකුද සිටින බවත්ය.
ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් පිරිස අතර පහරදීම සහ ඝාතන සිද්ධිය සැලසුම් කළ ප්‍රධාන සැලසුම්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මීට අමතරව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අනුරාධපුර ප්‍ර‘දේශයේ නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යන පුදගලයන් දෙදෙනෙකුද සිටින බවත්, පහරදීමට සහ ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන යකඩ පොල්ලක් සහ ලී පොලු හතරක්ද පොලිස් භාරයට ගෙන තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා උතුරු මැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවිවිජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් පත්කර තිබේ.
වසන්ත සොයිසා මහතා ඝාතනය කර සමාජ ශාලාවේ දේපළවලට බරපතළලෙස අලාභහානි සිදුකිරීමට මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් 28 දෙනෙකු පැමිණ ඇති බවට පොලීසිය තහවුරු කරගෙන ඇති අතර ප්‍රහාරය සඳහා පුද්ගලයන් 24 දෙනෙකු පමණ සමාජ ශාලාව වෙත ඇතුළු වී තිබෙන බව ඔවුන් අනාවරණය කරගෙන තිබුණි.
එමෙන්ම තවත්, පුද්ගලයින් සිවුදෙනෙකු අනුරාධපුර නගර ආසන්නයේ රැඳී සිට ඇති බවට පොලීසිය සැක පහළ කරයි. ප්‍රහාරය සඳහා පුද්ගලයන් ප්‍රවාහනය කළ කුඩා ට්‍රක් රථය සොයාගැනීමටද පොලීසිය වෙහෙසෙන අතර ප්‍රධාන මාර්ග කිහිපයකම වෙළෙඳසැල්වල, නිවෙස්වල, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කිරීමටද පොලීසිය පියවර ගෙන ඇති බවද සඳහන් වෙයි. එමෙන්ම ප්‍රහාරය සඳහා රාත්‍රී සමාජ ශාලාව වෙත ඇතුළු වන අවස්ථාවේදීම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසියේ විශේෂ අවධානය යොමු වී තිබේ.
ඔහු කිසිදු බියකින් තොරව පෙට්‍රල් බෝම්බය අතේ තබාගෙන පත්තුකර ප්‍රහාරය එල්ල කරන අයුරු දැකගත හැකි බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ ඔවුන් ඝාතනය සිදු කළ දින සමාජ ශාලාව තුළට ඇතුළු වන අවස්ථාවේ පැලද ගෙන පැමිණි ගෝණි වලින් බව පොලීසිය පවසයි.
එම ගෝණි වල අකුරු කිහිපයක් කොටා තිබූ බවත්, එම ගෝනී බේකරයකට අයත් ඒවා බවත්, ඒවා එම ආයතනයෙන් පිටවූ ආකාරය පරික්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය සඳහා යොදාගත් බව කියන විදේශයේ නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන කඩුව සොයාගැනීමටද පොලීසිය පුළුල් මෙහෙයුම් සිදුකරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු යුද හමුදාවෙන් පළා ආ සෙබළුන් බවට පොලීසිය අනාවරණය කරගෙන තිබෙන අතර, ඔවුන් පුබුදුපුර, පවිත්‍රපුර, විජයපුර, පාලාඩිකුලම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25-35ත් අතර පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේය.
ඝාතනයට ලක්වූ ලෝක ශූර කරාතේ උපදේශක වසන්ත සොයිසා මහතාගේ දේහය අංක 311/සී, මුදිතා මාවත, කඩ 50, අනුරාධපුර පිහිටි පැනරෝමා සමාජ ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, ඒ මහතාගේ දේහය අද (27දා) අනුරාධපුර, විජයපුර පිහිටි පොදු සුසාන භුමියේදී ආදාහනය කිරීමට නියමිතය.
ඉන්දික හේවාවිතාරණ /අනුරාධපුර බී.ජී. චතුරංග/තිසර සමල්