අනාරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) භාවිත කිරීම නිසා යතුරුපැදි අනතුරුවලින් දිනකට එක් අයෙකු මියයන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ (පරීක්ෂණාගාර සේවා) ඒ.එස්. දේවගේ මහතා සඳහන් කළේය.
යතුරුපැදි ධාවනය කිරීමේදී පැදිකරු හා පසුපැදිකරුවන් භාවිත කළ යුත්තේ ප්‍රමිතියෙන් යුත්, යතුරුපැදි සඳහාම නිෂ්පාදනය කර තිබෙන හිස්වැසුම් පමණක් බවද ඔහු පවසා සිටියේය.
එහෙත් මේවනවිට වැඩබිම්වල භාවිත කරන හා පරීක්ෂණාගාරවල භාවිත කරන හිස්වැසුම් පවා යතුරුපැදිකරුවන් හා පසුපැදිකරුවන් භාවිත කරන බවද ඒ.එස්. දේවගේ මහතා කියා සිටියේය.
මීට අමතරව කාන්තා යතුරුපැදි භාවිත කරන පැදිකරුවන් විසින් විවිධ වර්ගයේ හිස්වැසුම් භාවිත කරමින් යතුරුපැදි ධාවනය කරන බවත්, එහෙත් යතුරුපැදි ධාවනය කිරීමේදී භාවිත කරන හිස්වැසුම සඳහා ප්‍රමිති සහතිකය ලබාදීමේදී වැඩබිම් හා පරීක්ෂණාගාර තුළ භාවිත කරන හිස්වැසුම්වලට ප්‍රමිති සහතික ලබානොදෙන බවදඒ මහතා සඳහන් කළේය. එම හිස්වැසුම්වලට ක්ෂණිකව එල්ලවන අධික පීඩනය දරාගත නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙරට තුළ අලෙවි කළ හැකිවන්නේ මෙරට තුළ අලෙවි කළ හැකිවන්නේ එස්.එල්.එස්. සහතිකය සහිත ආරක්ෂිත හිස්වැසුම් පමණි.
එහෙත් මෙතෙක් ආරක්ෂිත හිස්වැසුම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබාගෙන තිබෙන්නේ ආයතන 05ක් පමණක් වන අතර, මෙම ආයතන 05න් 03ක් ආනයනකරුවෝ වෙති.
එස්.එල්.එස්. සහතිකය ලබාගැනීම සඳහා තවත් ආයතන 07ක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අයදුම්පත් යොමු කර තිබේ.