රටක් ලෙස අනාගතයේ ඇතිවිය හැකි අභියෝග සාර්ථක ලෙස විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටින අතර, අනාගතය වෙනුවෙන් සියල්ලන්ගේම අදහස් හා යෝජනා ඉතා ගෞරවයෙන් සැලකිල්ලට ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය කාරක සභාව අවස්ථාව යටතේ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙම ආරාධනය කළේය.
ආණ්ඩුවක් ලෙස අද කළ යුතු වගකීම ඉටු නොකළහොත් හෙට දවස අඳුරු වන බවත්, රටක ජාතික ආරක්ෂාව සුළු කොට තැකිය නොහැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම කුමන ආකාරයක විවේචන ඇති වුවද රටෙහි ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම හැර කිසිදු දුර්වල කිරීමකට ඉඩ නොතබන අතර, මේ සම්බන්ධයෙන් රජය හොඳ අවබෝධයකිනක් කටයුතු කරන බවද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේය. අනාගතයේදී හමුදාවට තුවක්කුවෙන් කළ හැකි කාර්යයන් සීමාවන අතර, සයිබර් ත්රස්තවාදයට, සයිබර් අපරාධකරුවන් මැඬලීමට මුහුණදිය යුතු අතර, නවීන තාක්ෂණය ඔස්සේ අපරාධ මැඬලීම සඳහා ප්‍රතිපාදන වෙන්කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රජය, අමාත්‍යාංශ මෙන්ම පුරවැසියන් ඇතුළු සියලු දෙනාම සිය වගකීම් නිසි පරිදි ඉටුකළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“ජාතික ආරක්ෂාව සම්බන්ධ වැදගත් කරුණු සහ යෝජනා අවශ්‍යයි. එහිදී ශක්තිමත් විදේශ සම්බන්ධතා, දේශපාලන ස්ථාවරය, ආර්ථික සුරක්ෂිතතාව, මානව සම්පත් සංවර්ධනය, බලශක්ති සුරක්ෂිතතාව ඇතිකළ යුතුයි. ඉදිරියේදී යුද්ධයක් ඇතිවෙයි කියන කාරණය හිත් තුළ තිබෙනවා නම් පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා" යනුවෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.
ඉන්දු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම හෙවත් එට්කා පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කිරීමට කටයුතු නොකරන ලෙසත්, ඉන්දියාව පමණක් නොව ආර්ථික සහයෝගයක් ඇති කරගත හැකි සියලු රටවල් සමග ගිවිසුම් ඇති කරගන්නා බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
තවද එට්කා ගිවිසුම සම්පාදනය කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා පැවසුවේය.
එහිදී තවදුරටත් නොගැළපෙන කරුණු ඒ තුළ අන්තර්ගත වන්නේ නම් විවාද කර අනවශ්‍ය කරුණු ඉවත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසුවේය.
එට්කා ලෙස නිරවුල් ගිවිසුමක් අත්සන් කරන බවත්, ඒ පිළිබඳ ජනතාව නොමග යවන ප්‍රකාශ ගැන තමන් කනගාටු වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ව්‍යවස්ථා සම්පාදනයේදී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි එකඟතාවක් නොමැති සහ සියල්ල සාකච්ඡා මට්ටමේ පවතින අවස්ථාවක ජාතිවාදයේ ගිනි ඇවිළවීමට කටයුතු නොකරන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.