ත්‍රිකුණාමලයේ සිට අයිස්ලන්තය බලා ගමන් කරමින් තිබූ ප්‍රංශයට අයත් රුවල් නෞකාවක් මහ මුහුද මැද විපතට පත්ව තිබියදී, එම නාවිකයන් සහ නෞකාව ආරක්ෂිතව බේරාගෙන යළි ගාල්ල වරාය වෙත රැගෙන ඒමට පියවර ගත් බව ශ්‍රී ලංකා නවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසීය.
සැන්ඩිටී (Sandetie) නමැති මෙම රුවල් නෞකාව ගාල්ල ප්‍රදීපාගාරයට නාවුක සැතපුම් 72ක් දුරින් ගමන් කරමින් තිබියදී, එහි එන්ජිමේ හටගත් කාර්මික දෝෂයක් නිසා මෙසේ විපතට පත් වී තිබිණි .
එහි ප්‍රංශ ජාතික නාවිකයන් සිවු දෙනෙකු සිට ඇති අතර, මෙම පුවත සැලවීමත් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්, ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකාවක් වන සයුරළ නෞකාව එම ස්ථානයට ගොස්, එම නාවිකයන් සහ රුවල් නැව ආරක්ෂිතව බේරාගෙන, ගාල්ල වරාය සමීපයේ පිහිටි මෙම නෞකාවට සේවා සපයන පෞද්ගලික නාවික ආයතනයක් වෙත බාරදීමට පියවර ගෙන තිබේ.
මෙම රුවල් නෞකා ගැඹුරු මුහුදේ රුවල් මගින් යාත්‍රා කළද , යම් රටක වරාය හෝ ආරක්ෂිත මුහුදු කලාප තුළදී එම නෞකාවට සහ එම වරායවලට සිදු විය හැකි හානිවලින් ආරක්ෂා කරගැනීම සඳහා එන්ජින් මගින් ක්‍රියා කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.