රට තුළ මෙතරම් අධිවේගී මාර්ග ඉදිවන්නේ ජනතාව වෙනුවෙන් නොව එමගින් දේශපාලඥයන්ට වාසි ලැබෙන නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
දැවැන්ත සංවර්ධන යෝජනා සඳහා විදේශිකයන්ට ඉඩම් ලබාදෙනුයේ කොමිස් මුදල් බලාපොරොත්තුවෙන් බවද පැවසූ උන්වහන්සේ, පෞද්ගලික සංවර්ධනය වෙනුවෙන් කැපවීම තිරසර සංවර්ධනය නොවන බවද ප්‍රකාශ කළහ.
තිරසර ලංකා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (02දා) පැවැති මාධ්‍ය හමුවේදී රතන හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමියෝ,
"අධිවේගී මාර්ග මේතරම් හැදෙන්නෙ දේශපාලඥයන්ට වාසි තිබෙන නිසා. තමන්ගේ තැරුව්කාරයන්ට වාසි තිබෙන නිසා. එහෙම නැතිව තමන්ගේ රටට ආදරේ නිසා නෙවෙයි, මේ දේශපාලඥයෝ අධිවේගී මාර්ගවලට ප්‍රේම කරන්නෙ. ඒවගේම දැවැන්ත සංවර්ධනයක් කියලා විදේශිකයන්ට යෝධ ඉඩම් දෙන්න කල්පනා කරන්නෙ සාක්කුවට කීයක්හරි වැටෙන නිසා. තිරසාර සංවර්ධනයේදී දේශපාලකයන්ට පාඩුයි. පරිසරයට හිතකාමී සමස්ත ජනතාවට රටට වාසියි. එහෙනම් අපි තෝරන්න අවශ්‍ය දේශපාලකයන්ට වාසි, පරිසරයට රටට අවාසි ජනතාවට පාඩු සංවර්ධනයක්ද එහෙම නැතිනම් අපි හැමෝටම වාසි පොදු සංවර්ධනයක්ද කියලා ජනතාව තීරණය කළ යුතුයි. ඒසඳහා අවශ්‍ය කතිකාවතක් තමයි අපි තිරසර ලංකා නමින් මේ සිදුකරන්නෙ. ජනතාවට අවස්ථාව දෙනවා තෝරන්න පෞද්ගලික වාසි ලැබෙන කොමිස් ගන්න පුළුවන් සංවර්ධනයක්ද එහෙම නැත්නම් තිරසාර සංවර්ධනයක්ද අවශ්‍ය කියලා තෝරන්න කියලා" යැයි පැවසූහ