මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වන නඩු පහක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා වසර දෙකකට අධික කාලයක් පොලීසිය මගහැර සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය නියෝග කළාය.
මීට අමතරව නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රුපියල් 63,000ක දඩ මුදලක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට වැඩිදුරටත් නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ චිත්‍රපට නළුවෙකු බව පැවසෙන තඹුත්තේගම, පහළගම ප්‍රදේශයේ පදිංචි මංගල මුණසිංහ නමැත්තෙකි.
පොලිස් නිලධාරිනියක උපාය දූතයෙකු ලෙස යොදාගෙන තඹුත්තේගම පොලීසිය විසින් සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ අපරාධ කිහිපයකට පොලීසියට අවශ්‍යව සිට ඇති පුද්ගලයෙකු වන අතර, තඹුත්තේගම හා මහව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පහක් සඳහා ඔහු වරෙන්තු ලබා ඇති බවත් අනාවරණය වී ඇත.
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා බැරල් 02ක් හා නීතිවිරෝධී මත්පැන් බෝතල් 42ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත තඹුත්තේගම පොලීසිය මගින් සැකකරුට විරුද්ධව පසුගිය 2016 වසරේ ඔක්තෝබර් මාසයේ 09 වැනිදා නඩුවක් ගොනුකර ඇති අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණු පසුගිය 02 වැනිදා එම නඩුවද විභාගයට ගැනිණි.
සැකකාර චිත්‍රපට නළුවා පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්දයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රුපියල් පනස්දහසක මුදල් ඇප දෙකක් මත මුදාහැර ඇති බවත්, ඒ සඳහා ඇප තබා අත්තේ ඔහුගේ බිරිඳ හා මිත්‍රයෙකු වන අතර, සැකකරු එම නඩුවට අධිකරණයට ඉදිරිපත් නොවූයෙන් එම ඇප මුදල් රාජසන්තක වී ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් තඹුත්තේගම පොලීසිය පවසා සිටියේ, මීට වසර දෙකකට පෙර නීතිවිරෝධී මත්පැන් තබාගෙන සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී එම ස්ථානය වටලන අවස්ථාවේදී සැකකරු පලාගිය බවත්, පසුව නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කර තිබෙන බවත්ය.
එම නඩුව සඳහාද සැකකරු ඉදිරිපත් නොවී සැඟව සිටි බව පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍රීලාල් මහේෂ් තලංගල්ල මහතා අධිකරණයට දන්වා සිටියේ, සැකකරු කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරමින් සිට ඇති බවත්, නඩු ගණනාවක් තිබෙන බැවින් ඒ සඳහා මුදල් එකතු කරගෙන අධිකරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින අවස්ථාවේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
තඹුත්තේගම - නන්දන කුමාර