පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ලිඛිතව අද (04දා) දිනය තුළ නොලැබුණහොත් දින 07ක දුම්රිය වැඩ වර්ජනයක් සිදු කිරීමට කටයුතු කරන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.
දුම්රිය ශ්‍රේණි 05කට පමණක් ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව අනෙකුත් දුම්රිය සේවකයන්ටද වැටුප ඉහළ දමන ලෙස ඉල්ලා පසුගිය 29 වැනිදා සිට පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කළ බවද එම කමිටුවේ ලේකම් කමල් පීරිස් මහතා සඳහන් කළේය.
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අනුකමිටුව විසින් ශ්‍රේණි 05කට පමණක් වැටුප ඉහළ දැමූ බවත්, එම කමිටුව සමග දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය කමිටුව පසුගිය 01 වැනිදා සාකච්ඡාවක් පැවැත් වූ බවත් ඔහු පවසා සිටියේය.
එම සාකච්ඡාවලින් පසු දුම්රිය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම, දීමනා වැටුපට එකතු කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ තීරණ අද (04දා) ලිඛිතව ලබාදෙන බවට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පොරොන්දු වූ බවද එම කමිටුවේ ලේකම් කමල් පීරිස් මහතා සඳහන් කළේය.
එම වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට (05දා) දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය කමිටුවේ විධායක සභාව රැස්වන බවත්, පොරොන්දු කඩකර තිබුණහොත් දින 07ක දුම්රිය තාක්ෂණ සේවා වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.