ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත්කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව අද (03දා) දිනයේදී කැඳවූවත්, එය ඉටුවීම පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උදාවී තිබේ.
එවැනි තත්ත්වයක් උදාවී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත්කිරීමට වඩා, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවද සාකච්ඡාවට ගත යුතු බවට විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිප දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වීමත් සමගය.
දැනට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගතයුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි මතයක සිටින බැවින්, අද පෙරවරුවේ පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමද උණුසුම්කාරී වනු ඇතැයි දැනගන්නට ලැබේ.
මේ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ අද දින පාර්ලිමේන්තුව රැස්කරන ලෙස අග්‍රාමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ව්‍යවස්ථාදායක සභාවට යෝජනා වී තිබෙන සිවිල් පුද්ගලයන්ගේ නම් තුන සම්මත කරගැනීමට බවත්,
එම නිසා එම අවස්ථාව උපයෝගී කරගෙන වෙන වෙන භංග ඉදිරිපත් කළහොත් ඊට ප්‍රතිචාර දක්වන බවත්ය.
ජනතාවගේ විශ්වාසය භංග වී තිබෙන විපක්ෂය එල්ලෙන්නට වැල් නොමැති නිසා එක් එක් කතා කියමින් විශ්වාසභංග යෝජනා ගෙනඑන බවත්, එහෙත් අද දිනයේ පාර්ලිමේන්තුව කැඳවා තිබෙන්නේ විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමට නොවන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ අද දිනයේදී විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගැනීම වඩාත් ප්‍රා‘යෝගික කාර්යය බව බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස බවයි.
ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීමට වඩා මෙම කාර්යය වඩාත් ප්රමුඛ බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සිදුවූ අවසන් සාකච්ඡාවලදී තීරණය කළ බවද හෙතෙම කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලය සමග සියල්ල තීරණය වන බැවින් එයට අවනත වීමට සියලු දෙනාට සිදුවන බවයි. බහුතරයක් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින යෝජනාවක් හිතාමතා යට ගැසීමට ඉඩ ලබා නොදෙන බවත්, එසේ වුවහොත් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඇතිවන බවත් හෙතෙම කියා සිටියේය.
මේ අතර පෙරේදා (01දා) කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීමට අදාළ කාරණය වඩාත් ප්රමුඛ කාර්යය ලෙස සලකා එය අද දිනයේදී සාකච්ඡාවට ගැනීමට කථානායකවරයා තීරණය කර ඇති බවයි.
මේ අතර, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙනඒමට සැලසුම් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට අද (03දා) රැස්වන පක්ෂ නායක රැස්වීමේදී දින තීරණය කරන බවය.
පෙරේදා රාත්‍රියේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ තීරණය කළ බවත්, මීට අමතරව ව්‍යවස්ථාදායක සභාවට නම් කර සිටින සිවිල් පුරවැසියන් තිදෙනාගේ නම් පිළිබඳ තීරණයක් ගැනීමට අද පාර්ලිමේන්තුව රැස්වන බවත් ඔහු පවසා සිටියේය.
විශ්වාසභංග යෝජනාවට දින තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී අද උදෑසන 9.00 ට පක්ෂ නායක රැස්වීම් පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර, රට ආර්ථික වශයෙන් කඩාවැටීමකට ලක්වීම, රටේ සංවර්ධනය අඩාළ වීම හා පසුගිය ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති අතරමග නවතා දැමීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව මේ වනවිට කථානායකවරයාට බාරදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටත් ස්ථාපිත කළ ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් 07 දෙනෙකුද, සිවිල් සමාජය නියෝජනය කරමින් තිදෙනෙක්ද සහභාගී වෙති.
ඒ සඳහා අදාළ අනුමැතිය පාර්ලිමේන්තුව මගින් ලබාදිය යුතු නමුදු එම පත්කිරීම් පිළිබඳව දේශපාලන පක්ෂ දැනටමත් විවේචන ඉදිරිපත් කර ඇත. ඒ සඳහා කැබිනට් ඇමතිවරුන් පත්කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂවල විරෝධයට ලක්ව තිබේ.
එසේම ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වනතෙක් කල් දමන ලෙසට ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඉල්ලීමක් කර ඇත. එමගින් නව පාර්ලිමේන්තුවේ සංයුතියට හා ප්‍රතිපත්තීන්ට අනුකූල ලෙස එය පත්කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එහි නිල සාමාජිකයෝ වෙති.
සබැඳි පුවත්
පාර්ලිමේන්තුව විසුරුවන්න කතානායක යෝජනා කරයි - http://goo.gl/Rhp0e8
අමිත් මධුරංග / කැළුම් බණ්ඩාර / ඉන්දික හේවාවිතාරණ