පාපැදිවලින් කොළඹ යන්න ඇවිත්
පාසල් ගොස් අතුරුදන්ව සිටි බාලවයස්කාර පාසල් ළමුන් තිදෙනා ඊයේ (10දා) රාත්‍රී 09ට පමණ පොලිස් බාරයට ගත් බව රාජාංගනය පොලීසිය පවසයි.ඉකුත් 09 වනදා උදෑසන සිට තඹුත්තේගම රාජාංගනය යාය 10,හරිශ්චන්ද්‍ර මහා විදුහලේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුපුන් ජයමාල් (14), නිලංග ප්‍රබෝද් (14) එම විදුහලෙහිම 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගිහාන් අමල්සු මධුරංග (12) සිසුන් තිදෙනා අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ දෙමව්පියන් පැමිණිලි කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් රාජාංගනය පොලීසිය පුළුල් විමර්ශනයක් සිදුකළ අතර, ඊයේ (10දා) රාත්‍රී 09ට පමණ පාසල් සිසුන් තිදෙනා පාපැදි 02කින් නැවත නිවෙස් කරා යනු දුටුආරක්ෂක කමිටු සාමාජිකයින් කිහිපදෙනෙකු ඒ බව රාජංගනය පොලීසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ.
ස්ථානාධිපතිවරයා විසින් දරුවන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඔවුන් පවසා ඇත්තේ 09 වනදා උදෑසන පාසල් යෑමට ප්‍රමාද වූහෙයින් තම්මැන්නාව වැවේ ඔරු පැද, පා පැදි දෙකෙන් කොළඹ බලා පිටත්ව යාමට ගමන් ආරම්භ කළ බවයි.
එහෙත් තිදෙනා අත මුදල් නොමැතිකම හේතුවෙන් හලාවත ප්‍රදේශයේදී වී ලොරියක වී බෑමට කටයුතු කරඑමගින් ලැබුණු රුපියල් 500 ක මුදලින් ආහාරපාන ගෙන, 09 වනදා රාත්‍රිය පෙරපාසලක ගත කර නැවතත් නිවෙස් බලා පැමිණි බව ඔවුන් පවසා තිබේ.
සිසුන් තිදෙනා යම් අපරාධ ක්‍රියාවක් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ සිදුකර ඇතත්, ඔවුන් එවැනි දෙයකට සම්බන්ධ නොමැති බව අනාවරණය කර ගෙන ඇත.