අත්තනගල්ල රජමහා විහාරය අසල සංගීත සංදර්ශනයක් පැවැත්වෙන අතරතුර වෙඩි තැබීමේසිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගැනීමේ නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව නිට්ටඹුව පොලීසිය පවසයි.
බියගම, හෙයියන්තුඩුව, දේවමිත්ත පෙදෙසේ පදිංචිව සිටි මීගම ආරච්චිලාගේ රත්න දෙවප්රිය (37) නමැති දෙදරු පියාගේ මරණය සම්බන්ධයෙන් ආධාර හා අනුබල දුන්නැයි සැකපිට මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනගල්ල හාල්පන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එදින පැවැති සංගීත සංදර්ශනයේ ආරම්භක උත්සවය සඳහා මියගිය අයට ආරාධනා කර ඇත්තේ අත්අඩංගුවට ගැනුණු සැකකරු විසින් බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
සැකකරු මෙම අපරාධය ගැන කල්තබා දැනුම්වත්ම සිටිමින් එසේ ආරාධනා කර ඇත්දැයි හෙළි කර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.