වෙනත් වරෙන්තුවකට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් අධිකරණ භූමියෙන් පිටතටවී සිටින බව පවසමින්, අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටි සැකකරුවෙකු අනුරාධපුර අධිකරණ සංකිර්ණයේ ප්රධාන ගොඩනැගිල්ලේ වහලය මතට නැගී අද (06දා) දහවල් විරෝධතාවක නිරතවිය.
මෙම සැකකරු උප පොලිස් පරීක්ෂකවරයෙකුට යකඩ ඉන්නකින් පහරදී තුවාල සිදුකිරීම, තරුණයෙකුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකිරීම ඇතුළු නඩු කිහිපයක සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
ඔහු අධිකරණ සංකිර්ණයේ වහලය මතට නගින අවස්ථාවේ අධිකරණ කටයුතු සිදුවෙමින් පැවතුණු බව පොලිසිය පවසයි.
ඔහු අද අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පැවති නඩුවට ඉදිරිපත්වී නැවත අධිකරණ භූමියෙන් පිටවීමට යන අවස්ථාවේ පොලිස් නිලධාරීන් අධිකරණය නිකුත්කර තිබෙන වරෙන්තුවකට අත්අඩංගුවට පැමිණ සිටීම නිසා පිටතට නොගොස් ප්රධාන ගොඩනැගිල්ලට ආසන්නයේ වූ ගසක ආධාරයෙන් වහලයට නැගී විරෝධතාවයේ නිරතවිය.
තමන්ව අල්ලා ගැනීමට පොලිසියෙන් පැමිණ සිටින බවත්, අල්ලා ගත් පසු පොලීසිය පහර දෙන නිසා තමන් බිමට නොබසින බව පවසමින් ඔහු ප්රධාන ගොඩනැගිල්ලේ වහලය මතටවී වාඩිවී සිටියේය.
අධිකරණ කාර්ය මණ්ඩලය නීතිඥවරුන් හා පොලිස් නිලධාරීන් ඔහුට වහලය මතින් බිමට බසින ලෙස දැන්වූවද ඔහු පැයකට වැඩි කාලයක් වහලය මතටවී සිටියේය.
පසුව එම පුද්ගලයා බිමට බැසීමෙන් අනතුරුව පොලිසිය අත්අඩංගුවට ගත් අතර අධිකරණයට අපහාස සිදුවන අන්දමෙන් කටයුතු කිරීම නිසා සැකකරු මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කරන කිරීමට නියමිතව තිබිණ.