ප්‍රමිතියකින් තොර බෞද්ධ කොඩි සහ අටපිරිකර පිළිබඳව දිනෙන් දිනම පැමිණිලි ලැබීම නිසා සියලුම අටපිරිකර අලෙවිකරුවන් ලියාපදිංචි කර ගැනීමට සහ ප්‍රමිතියකින් යුත් බෞද්ධ කොඩියක තිබිය යුතු ගුණාංග පිළිබඳව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
අලෙවි කිරීමට තිබූ ප්‍රමිතියකින් තොර බෞද්ධ කොඩි 55,000ක් පිටකොටුව ප්‍රදේශයෙන් පසුගියදා අත්අඩංගුවට ගැනීමත් සමග බුද්ධශාසන සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ උපදෙස් මත අටපිරිකර නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීම පිළිබඳව හා බෞද්ධ කොඩියේ ප්‍රමිතිය අනිවාර්ය කිරීම පිළිබඳව තීරණයක් ගත් බවද එම අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා සඳහන් කළේය.
මේ අනුව අදාළ ගැසට් නිවේදන වෙසක් පෝ දිනට පෙර නිකුත් කරන බවත්, ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු බෞද්ධ කොඩියේ අදාළ වර්ණ, දිනය, පළල පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු බවද පවසා සිටියේය.
අටපිරිකර නිෂ්පාදනයේදී සෑම අටපිරිකරකම උපරිම සිල්ලර මිල, ආනයනයකරු, නිෂ්පාදකයාගේ නම, ලිපිනය අනිවාර්ය බවත්, මීට අමතරව බෞද්ධ කටයුතු පිළිබඳව දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලියාපදිංචි අංකය නිෂ්පාදිත දිනය, නිෂ්පාදිතයන්ගේ දුරකථන අංක සඳහන් කළ යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව අටපිරිකර තුළම තනිපට සිවුර, දෙපට සිවුර, අදනකඩය, සිවුරු රෙදි, පාත්‍රය, බඳ පටිය අනිවාර්යෙන්ම තිබිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.