තමාට කැබිනට් ඇමති ධුරයක් ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රාජීව විජේසිංහ මහතා 'අද'ට පැවසීය.
මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂීම් මහතා තමාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග ලබාදීමට කටයුතු කරන බැවින් රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරනගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත්, මේ පිළිබඳව පසුගිය සෙනසුරාදා (14දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාගෙන් විමසා සිටි බවත් විජේසිංහ මහතා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද මීට ප්‍රථම තමා දන්වා සිටි බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කරන බවට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුවද, තමා නියෝජනය කරන ලිබරල් පක්ෂයට එම අවස්ථාව හිමි නොවූ බව රාජීව විජේසිංහ මහතා කීය.
පසුගිය බ්‍රහස්පතින්දා (12දා) කබීර් හෂීම් ඇමතිවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඒ ගැන කතාකර කැබිනට් ඇමතිධුරයක් ලබාදීමට කටයුතු කරන බවට ඔහු පොරොන්දු වූ බවත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
එහෙත් සෙනසුරාදා රනිල් වික්‍රමසිංහ මහතා තමාට කතාකර මතුව ඇති ගැටලුව පිළිබඳව විමසනතුරු කබීර් හෂීම් ඇමතිවරයා අග්‍රාමාත්‍යවරයාට ඒ ගැන පවසා නොතිබුණු බවද හෙතෙම සඳහන් කළේය.
කරුණු කාරණා විමසා අවසානයේදී කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව රාජීව විජේසිංහ මහතා පවසා සිටියේය. කිසිවෙකු ඇඟිලි ගසන්නේ නම් අමාත්‍යාංශයේ කටයුතු කළ නොහැකි බවට අග්‍රාමාත්‍යවරයාට මීට ප්‍රථම ලිපියක් යොමුකළ බව කී ඒ මහතා අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වන බවට එම ලිපියෙන් අවධාරණය කර සිටි බවද සඳහන් කළේය.
විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය තනතුරෙන් ඉවත්කරන ලෙසට කබීර් හෂීම් අමාත්‍යවරයා ලිපියක් යවා තිබුණු බවත්, එය තමාගෙන් නොවිමසා සිදුකළ ක්‍රියාවක් බවත් හෙතෙම පවසා සිටියේය.
විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ බලපෑම්වලට ලක්ව කබීර් හෂීම් මහතා ඒ ආකාරයෙන් කටයුතු කර ඇතැයි රජීව් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරිය තවදුරටත් එම තනතුරේ තබන ලෙස අග්‍රාමාත්‍යවරයා තමන්ට උපදෙස් දුන් බවද හෙතෙම පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇයට එරෙහිව මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කළද මේ දක්වා තමාට එවැනි පැමිණිල්ලක් ලැබී නැති බවත්, එවැනි පැමිණිල්ලක් ලැබුණහොත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් බවත් ඒ මහතා සදහන් කළේය.
කෙසේවෙතත් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියට එරෙහිව ඇති චෝදනා සම්බන්ධව මේ වනවිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර තිබෙන බවයි.