පසුගිය මහ කන්නයේ සහතික මිල යටතේ මිලදීගෙන තිබෙන වී තොග ඉහළ මිල ගණන් යටතේ අලෙවි කර එම ගබඩාවලට මේ වනවිට වෙළෙඳ පොළට නිකුත් වෙමින් තිබෙන වී මිලදීගෙන ගබඩා කරන ලෙසට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
වී විකුණා දැමීමට පෙර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඉහළ පිරිවිතර කැඳවා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන ලෙසටත් අග්‍රමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇත.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති විසින් 2014/2015 මහ කන්නයේදී මිලදී ගත් වී තොග කෘමි හානියට පත්ව තිබෙන බවට සිදුවූ ප්‍රචාර සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය කාර්යාලය විශේෂ පරීක්ෂණයක් පවත්වා තිබෙන අතර එම පරීක්ෂණයට අනුව එවැනි දෙයක් සිදුවී නොමැති බව හෙළිවී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මහ කන්නයේදී පොළොන්නරු දිස්ත්‍රික්කයේ මිලදීගත් වී තොග අතර, අරලගන්විල වී ගබඩාවට වී කිලෝ 41,500 ක්,වෙරගම ගබඩාවේ කිලෝ 90,000 ක්,අලුත්වැව ගබඩාවේ කිලෝ 70,250 ක් ගබඩා කර තිබෙන බව හෙළිවූ බවත්, එම තොග මිලදී ගෙන තිබෙන්නේ දිස්ත්‍රික් සමුපකාර සමිති විසින් බවද එම කාර්යාලය සඳහන් කළේය.
එහෙත් එම වී තොග කිසිදු හානියකට ලක්වී නොමැති බවත්, යම් ලෙසකින් සමුපකාර සමිති මිලදී ගත් වී තොග හානියට පත්වුවහොත් එහි වගකීම සමිතියේ අධ්යක්ෂ මණ්ඩලය බාරගත යුතු බවද රජය සඳහන් කරයි.