මගේ ඇස් පේනවා, හොඳටම නොවුණත් කන ඇහෙනවා
තනතුරු සදාකාලික නෑ, අද රෑ වුණත් දාලා යන්න පුළුවන්
තමා අගමැතිකම බාරගත්තේ කෝට් එකක් ඇඟේ දාගන්නා ආකාරයෙන් බවත්, ඕනෑම මොහොතක අගමැති තනතුර හා බුද්ධ ශාසන ඇමති ධුරය අතහැර යාමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය ධුරයට හෝ බුද්ධ ශාසන ඇමති ධුරයට වෙනත් කෙනෙකු පත්කරනවාට තමාගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද ජයරත්න මහතා සඳහන් කළේය.
කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (06දා) සවස පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
තමාගේ කන් ඇසීමේ යම් ආබාධයක් තිබුණත් සම්පූර්ණයෙන් බිහිරි නැතැයිද, ඇස් හොඳටම පෙනෙන බවද, ඕනෑම වැඩක් තනිවම කරගැනීමේ හැකියාව තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
කන්ඇසීමේ ආබාධයක් තිබුණු බැවින් මීට ටික කලකට පෙර ඇමෙරිකාවට ගොස් ශල්‍යකර්මයක් කරගත් බවද අගමැතිවරයා පවසා සිටියේය.තමා සමග පෞද්ගලික තරහකින් සිටින සමහරු ඒ නිසා තමාගේ අඩුපාඩු ගැන කතා කරන බවද ඒ මහතා කීය.
එහෙත් එක් කලෙක ඇමෙරිකාවේ අගමැතිවරයෙකු රෝද පුටුවෙන් පාර්ලිමේන්තුවට ගිය බවත්, ඒ ගැන කියමින් එරට කිසිදු මාධ්‍යයක් පුවත් වාර්තා නොකළ බවත් ඒ මහතා සඳහන් කළේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ