එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති කාලයේදී යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ප්රසිද්ධියේ සමාව ඉල්ලා සිටින බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා වූ ඩී.එම්. ස්වාමිනාදන් මහතාට චෝදනා කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් සහ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහත්වරුන් ඊයේ (06දා) අදහස් දැක්වූ අවස්ථාවේදී විවාදයට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව කීවේය.
අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන්ගේ ප්රශ්නවලට පිළිතුරු සපයද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුද ඝෝෂා කරමින් අගමැතිවරයා වෙත බාධා කරන්නට වූහ. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් ඇමතූ රනිල් වික්රමසිංහ මහතා,
'උතුරේ ජනතාවට අපි රැකියා දෙනවා. ආයෝජන කර්මාන්ත ලබාදෙනවා. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පදවිප්රාප්තියේ දෙවැනි සංවත්සරය වෙද්දී අපි විශාල වැඩ කොටසක් උතුරේ ආරම්භ කරනවා. (සභාවේ ඝෝෂා) ඔබගේ පක්ෂයේ නායකයාගේ පදවිප්රාප්තියට ඇවිල්ලා මේකට සහාය දෙන්න. අපේ කාලයේ යාපනය පුස්තකාලය ගිනි තැබූ එක ගැන මම සමාව ඉල්ලනවා. ඔබතුමාලාත් කරපු වැරදිවලට සමාව ඉල්ලනවාද? ඇයි සමාව ඉල්ලන්නේ නැද්ද?' යැයි පැවසීය.
උතුරේ අවතැන් කඳවුරු තුළ ජීවත්වන ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස 10,000 සඳහා වැය කරන මුදලින් නිවාස 20,000 ක් ඉදිකිරීමේ හැකියාව ඇති බවත්, ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙසත් මෙහිදී විපක්ෂනායක සම්බන්ධන් මහතා ප්රකාශ කළේය.
ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට තමන් සූදානම් බව අගමැතිවරයා එහිදී පැවසීය.