“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අගමැති කරන්න ජනතාව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර අවසානයි . දේශපාලඥයන් විදියට අපි වැඩි ජනතා කැමැත්තට හිස නැමිය යුතුයි. ඒ නිසා ඇති වී ඇති නව දේශපාලන තත්වය ඒ තරම් ගණන්ගත යුතු දෙයක් නොවෙයි” යැයි හිටපු කතානායක හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් කන්ඩායම් නායක චමල් රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ තිස්සමහාරාමයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා චමල් රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබූ මෙම පුවත්පත් සාකච්ඡාවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ජනවාරි අට වැනි දින මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු තංගල්ලට හා මැදමුලනට පැමිණි රටේ බොහෝ ජනතාව එතුමාට නැවත දේශපාලනයට ඒමට ඇරයුම් කළ බවයි. අනුරාධපුරයේ දී රැස් වූ ශ්‍රී .ල.නි.ප. ඉහළ පෙළ නායකයෝ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයට තබා ගෙන මැතිවරණයට
මුහුණ දිය යුතු බවට තීන්දුවක් ගත් බවත් ඒ අනුව ශ්‍රී.ල.නි.ප. යේ බහුතරය කටයුතු කරන බවත් පැවසීය.
මෙම මැතිවරණයෙන් බහුතර බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගන්නා බවත් ඒඅනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියට පත්වෙන බවත් චමල් රාජපක්ෂ මහතා පැවසීය.
අගමැති තනතුරු සඳහා චමල් රාජපක්ෂ මහතාගේ නමද සදහන් වී ඇති බවත් ඒ සඳහා සිය අදහස කුමක්දැයි මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් චමල් රාජපක්ෂ මහතා පැවසුවේ ජනතාව ඉල්ලන්නේ තමන් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවයි. ජනතාවට කන් දීම තමාගේ වගකීම බවද ඔහු ප්‍රකාශ කළේය.