එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මීළඟ අගමැති අපේක්ෂකයා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම සඳහා සන්ධානයේ නායකයන්ට බලකිරීමේ බලපෑම් කණ්ඩායමක් ලෙස තමන් ඇතුළු කිහිප දෙනෙකු කටයුතු කරගෙන යනවා හැර කිසිම අවස්ථාවක නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට උත්සාහ නොකළ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා %අද^ ට පැවසීය.
එහෙත් මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අදහසින් ඇතැම් කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බවට සඳහන් කර තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව අලුත් සන්ධානයක් ඇතිකර එහි සභාපති ධුරය මහින්ද රාජපක්ෂ මහතාටද, ජාතික සංවිධායක ධුරය ගෝඨාභය රාජපක්ෂ මහතාටද, මහලේකම් ධුරය තමාටද, ප්රචාරක ලේකම් ධුරය විමල් වීරවංශ මහතාට ලබාදෙන බව පවසමින් අසත්‍ය ප්‍රචාර පතුරුවා හැර ඇතැයි ඔහු පැවසීය.
එසේම තමන් සමග සිටින දිනේෂ් ගුණවර්ධන මහතාට කිසිදු තනතුරක් ලබානොදෙන බව දක්වමින් ඔහු සමග විරසකයක් ඇති කිරීමට පිරිසක් උත්සහ දරමින් සිටින බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
මීළඟ මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට බලකිරීමට විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග තමාද එක්ව බලපෑම් කණ්ඩායමක් ලෙස කටයුතු කරගෙන යන බව හෙතෙම මෙහදී පවසා සිටියේය.
කෙසේ වෙතත් මේ වනතුරු අගමැති අපේක්ෂකත්වය බාරගන්නා බවට මහින්ද රාජපක්ෂ මහතාගෙන් නිල වශයෙන් දැනගන්නට නොලැබුණු බවද ගම්මන්පිල මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සන්ධානයේ නායකයන්ගේ බහුතර කැමැත්ත ලබාගැනීම සඳහා උපරිම උත්සාහ කරන බවයි.