අකුරේගොඩ ඉදිවන ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවය ලබාගන්නා ලද පෞද්ගලික සමාගමේ සේවය මින් ඉදිරියට ලබා නොගැනීමට රජය තීරණය කර තිබේ.
අකුරේගොඩ ඉදිවන ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උපදේශක සමාගම් හා අදාළ ගෙවීම් පරීක්ෂා කිරීමට පත් කළ කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
අදාළ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සමාගම් තෝරාගැනීම සහ එම සමාගම්වලට අදාළ ගෙවීම් සිදුකිරීම අමාත්‍ය මණ්ඩලය වෙත නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමකින් තොරව සිදුකරඇතැයිඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා පත් කරන ලද නිලධාරී කමිටුව තහවුරු කර තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා උපදේශක සේවය ලබාගන්නා ලද පෞද්ගලික සමාගමේ සේවය එකී කමිටුවේ නිර්දේශය පරිදි මින් ඉදිරියට ලබා නොගැනීමටත්, එම සමාගම වෙත සිදු කරනු ලැබ ඇති උපදේශක ගාස්තු ගෙවීම් සමාලෝචනය කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේසම්බන්ධයෙන් අදහස් දක්වමින් අද(22දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පැවසුවේ මේසම්බන්ධයෙන් ආරම්භයේ සිටම ව්‍යාජ කරුණු ඉදිරිපත් කර ඇති බවත්, මේසඳහා පැහැදිලිවම වගකිවයුත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා බවත්ය.
කෙසේවෙතත් මෙම වාර්තාව ලබාදීමෙන් පසු වැරදිකාර පාර්ශ්වයන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය තීරණය කරනු ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.