බුර්කිනා ෆාසෝ සිට ඇල්ජීරියාව බලා පුද්ගලයන් 116 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී මාලි රාජ්‍යයට ඉහළ අහසේදී අතුරුදන් වූ ඇල්ජෙරි ගුවන් සේවයට අයත් AH 5017 දරණ ගුවන් යානයේ සුන්බුන් මාලි රාජ්‍යයෙන් හමුවී ඇති බව එරට ජනාධිපතිවරයා තහවුරු කර තිබේ.
ඒ අනුව, යානයේ ගමන් කළ සියලු දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙන්නේ සතියක් තුළ ප්‍රධාන ගුවන් යානා දෙකක් සහ තවත් කුඩා මගී ගුවන් යානා අනතුරක් සමග ගුවන් අනතුරු 3කින් මිනිස් ජීවිත 462ක් අහිමි කරමිනි.
ඒ මීට හරියටම සතියකට පෙර නැගෙනහිර යුක්රේනයේදී මිසයිල ප්‍රහාරයකට ලක්වූවා යැයි විශ්වාස කෙරෙන මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානයේ ගමන් ගත් පුද්ගලයන් 298 දෙනා සහ මීට දින දෙකකට පෙර තායිවානයේදී අනතුරට පත් GE222 දරණ කුඩා මගී ගුවන් යානයේ ගමන්ගත් මගීන් 58 දෙනාගෙන් ජීවිතක්ෂයට පත් 48 දෙනාද ඇතුළුවය.
යානය බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ දේශ සීමාවෙන් කිලෝමීටර් 50ක් පමණ ඔබ්බෙන් මාලි රාජ්‍ය තුළදී අනතුරට පත්ව ඇති බව බුර්කිනාබේ හමුදාව කියයි.
ඊයේ (24දා) ගුවන් පාලකයන්ගේ සංඥාවලින් ගිලිහී යානය අතුරුදන් වීමට මොහොතකට පෙර දරුණු කුණාටුවකට මුහුණ දෙමින් පැවති බව යානයේ කපිතාන්වරයා පවසා ඇත.
මෙම යානයේ ගමන්ගත් මගීන්ගෙන් 51 දෙනෙකු ප්‍රංශ ජාතිකයෝ වෙති.
McDonnell Douglas MD-83 - වර්ගයේ Flight AH 5017 නමැති යානය ස්පාඤ්ඤයේ ස්විෆ්ට් එයාර් ගුවන් සේවයෙන් කුලියට ගත් යානයක් බව කියැවෙයි.
මේ අතර, මාලි රජයේ රූපවාහිනිය තහවුරු කළේ යානයේ කොටස් බොවුලිකෙස්සි ගම්මානයේදී හෙලිකොප්ටරයක් විසින් නිරීක්ෂණය කර ඇති බවය.