ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයන ඇඟළුම් නිෂ්පාදන හා අපනයන කර්මාන්තකරුවන් නියෝජනය කරන සංවිධානය වන ඒකාබද්ධ ඇඟළුම් නිෂ්පාදකයන්ගේ සංසදය පසුගියදා පැවති ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවන ලදී.
මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර මෙරට ඇගලුම් කර්මාන්තයේ ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ඇඟළුම් ක්ෂේත්රයේ කර්මාන්තශාලා ගණනාවක් සිය කර්මාන්ත ශාලා වසා දමා විදේශයන්හි සිය කර්මාන්ත ස්ථාපිත කරමින් සිටින බව ද දැනට ක්‍රියාත්මක කර්මාන්ත ශාලා විසින් නිෂ්පාදනය කරන්නේ සමස්ත ධාරිතාවෙන් 25% කට අඩු ප්‍රමාණයක් බව ද ඇඟළුම් නිෂ්පාදකයෝ මෙහිදී පැවසූහ. තවද අමුද්‍රව්‍ය තීරුබදු, විදුලි ගාස්තු නිසා පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොල තුළ සිය තරඟකාරීත්වය විශාල වශයෙන් පහළ ගොස් ඇති බවත්, නව ඇණවුම් ලැබීම ඉතා බරපතල ලෙස අඩු වී ඇති බවත් ඔවුහු කරුණු පෙන්වා දුන්හ.
සෘජු රැකියා ලක්ෂ 3 1/2 ක් පමණ හා වක්‍ර රැකියා ලක්ෂ 3 ක් පමණ මෙම කර්මාන්තය විසින් රටට සපයා ඇති බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
මීට අමතරව බිලියන ගණනක VAT මුදල් ප්‍රතිපූර්ණ නොලැබීම නිසා තමන් මුහුණ පා ඇති දුෂ්කරතාවයන් පිළිබඳව ද ඇඟළුම් නිෂ්පාදකයෝ කමිටුවට තොරතුරු ඉදිරිපත් කරන ලදී.
කර්මාන්තය මුහුණ දෙමින් සිටින විදුලි බිල ඇතුලු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, නව බදු පැනවීම, ලෝක වෙළඳපළ කඩා වැටීම, ඇනවුම් අඩුවීම් වැනි තර්ජන හමුවේ SVAT ක්‍රමය ඉවත් කිරීමෙන් ඇඟළුම් කර්මාන්තය මුළු මනින්ම කඩා වැටීමේ ඉඩකඩක් පවතින බවත් මෙහිදී පෙන්වා දෙන ලදී.
ඒ අනුව SVAT ක්‍රමය ඉවත් කිරීමට පෙර කර්මාන්තයේ ආරක්ෂාවට සුදුසු ක්‍රමවේදයක් කර්මාන්තයට හඳුන්වා දීම සඳහා පෙනී සිටින බව කමිටුව සහතික විය. ස්වයංක්‍රීය VAT Refund ක්‍රමයක් ක්‍රියාත්මක වන තුරු යෙදවුම් බදු කළමනාකරණය කර ගැනීමේ ක්රමවේදයක අවශ්‍යතාවය කමිටුව පිළිගන්නා ලද අතර ඉතා කඩිනමින් ඒ සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවටත්, රජයටත් ඉදිරිපත් කිරීමට කමිටුව කටයුතු කරන බවට එහි සභාපති ගාමිණී වලේබොඩ මහතා සහතික විය.
විදේශ විනිමය රුපියලට පරිවර්තනය කිරීමේදී පවතින ගැටලු හා කලාපයේ පවතින නීති පිළිබඳ කරුණු සාකච්ඡා වූ අතර එහිදී කලාපයේ අනෙකුත් රටවල අපනයන ආදායම් දේශීය මුදලට පරිවර්තනය සම්බන්ධයෙන් තිබෙන නීති හා ප්‍රතිපත්ති ඇසුරින් වාර්තාවක් කමිටුව වෙත ලබා දෙන ලෙස සභාපතිවරයා දන්වා සිටින ලදී.
එසේම ඉහත කී යෝජනාවලිය රජය වෙත ඉදිරිපත් කිරීම් කටයුතු වේගවත් කර ගැනීම සඳහා JAFF සංගමය විසින් ආංශික කාරක සභාව වෙත ලබා දිය යුතු ඉදිරි සහයෝගය පිළිබඳවද සාකච්ඡා විය. ඊට අමතරව පොදුවේ කර්මාන්තකරුවන් හා ආයෝජන මණ්ඩල ප්‍රදේශවල කර්මාන්තකරුවන් මුහුණපාන ගැටලු කෙරෙහිද අවධානය යොමු විය.
