එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 49 වැනි සැසිවාරය ඊයේ දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.එය ලබන අප්‍රේල් 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙවර සැසිවාරයේදී ප්‍රමුඛතම කරුණ ලෙස රුසියා යුක්රේන අර්බුදය සාකච්ඡාවට ගැනෙන අතර, එහි දෙවැනි ප්‍රමුඛතාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳ යොමු වී ඇතැයි පැවසෙයි.
මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමති ජී.එල්.පීරිස්, අධිකරණ ඇමති අලිසබ්රි සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහභාගි වී සිටියි.
මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් මිෂෙල් බැචලේ ඉදිරිපත් කර තිබෙන අලුත්ම වාර්තාව හරහා ශ්‍රී ලංකාව වෙත දරුණු චෝදනා එල්ල කර තිබේ.
එහිදී මිලිටරිකරණය සහ වාර්ගික ආගමික ජාතිකවාදය සඳහා වන අඛණ්ඩ ප්රවණතා, ප්රජාතන්ත්රවාදී ආයතන අඩපණ කිරීමට මෙන්ම සුළු ජාතීන්ගේ කනස්සල්ලට සහ සංහිඳියාවට බාධා ඇති කරන බවද ඇය මෙහිදී සඳහන් කර ඇත.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය හා සංහිඳියාව පිළිබඳ රජය ඉදිරිපත් කරන වැඩපිළිවෙළ මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය ඇතුළු කාරණා රැසක් සම්බන්ධයෙන් මෙවර සැසි වාරයේදී අවධානය යොමු වනු ඇතැයිද සඳහන් වෙයි.